Sunday, January 29, 2012

ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජනික්‌


"ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තමන් ප්‍රිය කරන චරිතයක් (පුද්ගලයෙක්) අනුකරණය කිරීමට පෙලබෙති." මේ ඉතින් මට හිතෙන හැටි, එහෙම නැතුව කවුරුවත් කියපු වාක්‍යක් නම් නෙවෙයි. මේක කියවන කවුරු හරි හිතුවොත් එහෙම "මූට පිස්සුද මම නම් ඔය කවුරුවත්ම අනුකරණය කරන කෙනෙක් නෙවෙයි" කියල  ඒකෙ කිසිම වරදක් නෑ. මොකද මම කියල තියෙන්නෙ බහුතරය අනුකරණය කරනව කියල මිස, ලෝකෙ ඉන්න සියලුම දෙනා අනුකරණය කරනව කියල නෙවෙයිනෙ.ඔය කියපු විදියට අර බහුතර පිරිස ඒ අය ප්‍රිය කරන පුද්ගලය අදින විදිහ, ඇවිදින විදිහ, කතා කරන විදිහ විතරක් නෙවෙයි කොන්ඩ මෝස්තරය, පිරිමි චරිතයක් නම් රැවුල කපල තියන විදිහ පවා අනුකරණය කරන්න පෙලෙගෙනව. මෙච්චර මේ වැල් වටාරම් ගහල මම කියන්න හැදුවෙ මමත් ඔය දේ කළා කියන එක තමයි.

එතකොට මම ඉස්කෝලෙ 10 වසරෙ විතර, ඒ කාලෙ ටීවී එකේ ගියා 24 කියල ටීවී සීරියස් එකක්. මේ සීරිස් එක නොබලපු කෙනෙක් නෑ මම හිතන්නෙ. ඒ තරමටම ප්‍රසිද්දයි. ඕකෙ එක චරිතයක් තිබුන ටෝනි කියල
ඒ චරිතෙට පන පෙව්වෙ කාර්ලොස් බර්නාඩ් කියන නළුව. ඔය පල්ලෙහා ෆොටෝ එකේ ඉන්නෙ. ඉතින් ඒ නළුවගෙ රැවුල් මෝස්තරයට මම හරි කැමැත්තෙන් හිටියෙ. (හරි හරි කෝපි කඩේ සුවදත් ඔය ස්ට්‍රයිල් එකට තමයි රැවුල කපල තිබුනෙ ඒත් මම කැමති වුනේ ටෝනිගෙ රැවුල දැක්කට පස්සෙ) ඒ කාලෙ ඉතින් අපේ මොන රැවුල් ද, තිබුන රැවුල් ගස් ටික එහෙන් මෙහෙන් කපල ඔය විදියටම නැතත් ඔයිට සමාන විදියකට හදාගෙන මමත් ඉස්කෝලෙ ගියා. සතියක් විතර යනකොට ශිෂ්‍යනායක බාර සර් ට අහුවෙලා ඒ තිබුණු රැවුල් ගස් ටිකත් කපල දැම්ම. (ටොකු දෙකකුත් ඇන්න) ඊට පස්සෙ ඉස්කෝලෙ ඉවර වෙනකම් ඒ වගේ මෝස්‌තර දැම්මෙ නෑ.



ආයෙ තව කාලයක් යනකොට x men කියන කවුරුත් දන්න ෆිල්ම් සීරිස් එක ආව (පලවෙනි ෆිල්ම් එක නම් ආවෙ අපි ඉස්කෝලෙ යන කාලෙමද කොහෙද) ඉතින් ආයෙමත් මට හිතුන ඒකෙ ඉන්න වොල්වරීන් වගේ කොන්ඩෙයි රැවුලයි හදාගන්න ඕනෙ කියල. ඉතින් මම මාස 6ක් විතර කොන්ඩෙ වැව්ව. (වොල්වරින් කෙසේ වෙතත් සායි බබා ගෙ ෆේස් කට් එක නම් ඒ වෙනකොට ඇවිල්ල තිබුනෙ) මම ඉතින් වොල්වරින් ගෙ ෆොටෝ එකකුත් පත්තරේකින් හොයාගෙන සැලුන් එකකට ගිහිල්ල ෆොටෝ එක බාබර්ට පෙන්නල කිව්ව මේ විදියට කොන්ඩෙයි රැවුලයි කපාගන්න ඕනෙ කියල. බාබරුත් ටික වෙලාවක් ඒ ෆොටෝ එක දිහා බලං ඉදල, (හිතින්) "දෙන්නම් වැඩේ" කියල අඩුවයි මිටියයි අතට ගත්ත. නෑ බං කතුරයි පනාවයි අරගෙන වැඩේ පටන් ගත්ත . ටික වෙලාවකට පස්සෙ මෑන්ස් (බාබර්) මාව නැගිට්ටවල "මල්ලි කොහොමද, කොන්ඩෙ හොදයිද" කියල ඇහුව. මමත් ඇහැරිලා බැලින්නම් මෑන්ස් අමුතුම කට් එකක් දීල කොන්ඩෙට. වොල්වරින් කලේ. පස්සෙ මට වැඩේ මීටර් වුනා මෑන්ස් මගෙ කොන්ඩෙ කපල තියෙන්නෙ පත්තර පිටුවෙ අනිත් පැත්තෙ හිටපු මිනිහෙකුගෙ විදියට කියල. මොනව කරන්නද ඉතින්. ආයෙ කොන්ඩෙ තිබුන විදියට අලවන්න කියල යෑ. මම කොන්ඩෙයි රැවුලයි නෝට් එකටම කපල ගෙදර ගියා.




ඊටත් ටික කාලෙකට පස්සෙ linkin park සංගීත කණ්ඩායමේ මයික් විදියට කොන්ඩෙයි රැවුලයි හදාගන්න ආසාවක් ආව. ඒ වැඩේ නම් ඒ තරම් අමාරු වුනේ නෑ හැබැයි. හැබැයි මගෙ යාළුවො නම් කිව්වෙ මම හදල තිබුන විදිහයි මයික් ගෙ කොන්ඩෙයි රැවුලයි තිබුන විදිහයි සම්පුර්ණයෙන්ම වෙනස් කියල. ඊට පස්සෙ මම එක එක අය විදියට කොන්ඩ රැවුල් හදන එක නවත්තල දැම්ම. හිතුන දාට කොන්ඩෙ කොට වෙන්නම කැපුව, නැත්තන් ටිකක් දිග වෙනකන් කපන් නැතුව හිටිය. රැවුලත් වෙලාවකට කැපුවා, වෙලාවකට වැව්ව. (රැවුල නම් වැව්වෙ කපන්න කම්මැලි කමට)




මම කොයි තරම් උත්සහ ගත්තත් තව කෙනෙක්ව අනුකරණය කරන්න ඒ හැම මොහොතෙම මට අසාර්ථක  වුනා. ඒත් දෛයිවය කියනදේ මම වැඩිය විශ්වාස කලේ නැතත්, ඒ හැමදෙයක්ම වෙනස් කළා.

ඒක වුනේ මෙන්න මෙහෙමයි. මට ගිය සතියෙ ඔෆිස් එකේ වැඩකට කට්ටියක් හම්බවෙන්න වෙන ඔෆිස් එකකට යන්න වුනා. ඒ ඔෆිස් එක තිබුනෙ වෙනත් බිල්ඩින් එකක 6වෙනි තට්ටුවෙ. මම ඒ බිල්ඩින් එකට ගිහිල්ල ලිෆ්ට් එකට නැග්ග 6 වෙනි තට්ටුවට යන්න. ඒ ලිෆ්ට් එකේ එක පැත්තක උඩ ඉදන් යටට ම යනකම් ලොකු කණ්නාඩියක්‌ හයිකරල තිබුන. මම ඒ කණ්නාඩියෙන් දැක්ක දේ මට අදහ ගන්න බැරුව ගියා. ඇත්තටම තවමත් මට හිතා ගන්න බෑ මම ඒ දැකපු දේ. ඔව්‍ මම දැක්ක ඒ කණ්නාඩියෙන් ලෝකෙ ප්‍රසිද්ද වුන චරිතයක් මං දිහා බලාගෙන ඉන්නව . ඇත්තටම කණ්ණාඩියෙන් පෙනුන මගෙ ප්‍රතිබිම්බයෙන් මම ඔහුව දැක්ක. මම ගොඩක් දුක් වුනා මෙච්චර කලක් මට ඒ රූපෙ නොපෙනුන එක ගැන. එහෙම පෙනුන නම් මම වොල්වරින් වගේවත් මයික් වගේ වත් කොන්ඩ හදන්න දගලන්නෙ නෑ නෙ.

හරි හරි මම කියන්නම් මම ඒ වීදුරුවෙන් දැක්කෙ කාවද කියල. වෙන කවුරුවත් නෙවෙයි despicable me ෆිල්ම් එකේ ප්‍රදාන චරිතෙ රගපාන "ග්රූ" ව


 ඔව් පාටෙ පොඩි අප්සට් එකක් තියනව නම් තමයි. හැබැයි ශේප් එක නම් එමම තමයි. දැන් ඉතින් මගේ එකම අරමුණ මේ ශේප් එක ජීවත් වෙලා ඉන්නකම් එකම විදිහකට තියා ගන්න එක. මොන බාදා ආවත් ඒක වෙනස් වෙන්න දෙන්නෙ නෑ නෑ නෑ මයි.

ප.ලි
ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වෙ අවසාන කොටස ලගදීම දාන්නම්. :D 

Tuesday, January 24, 2012

ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වේ.... (2)

වුරුහරි කෙනෙක් මේ කතාවේ දෙවැනි කොටස කියවන්න නොයිවසිල්ලෙන් බලන් වුන්න නම්, (මම දන්නව කවුරුවත් එහෙම හිටපු නැති විත්තිය) ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා හා අනුලා ද සිල්වා මැතිණිය වෙනුවෙන් මම සමාව ඉල්ලනව.මොකද  "විජයබා කොල්ලය" ත්, "අත්තටු මැවිලා" ත්  (මුල් කෘතිය I Am Tha Wings by Christine Wilson) යන කෘති දෙක මාව ලංකාවෙ අතීතයට  අරගෙන ගියා. සතියක පමණ කාලයක් අතීතයේ ලංකාවෙ ජන ජීවිතයත්, සොබා සෞන්දර්ය යත් විදිමින් ඉදල අද ආයෙමත් වර්තමානයට ආව.බොක්ස් ෆයිල් දෙක තුනක්, කී බෝඩ් එකත් හොයා ගන්න අමාරු වෙන තරමට තැන තැන විසිරුණු ඒ4 කොළ ගොඩක්, ක්‍රීන් ක්‍රීන් හඩින් නාද වෙන දුරකතනයක් හා ෆේස් බුක් වෝල් එක දිස්වෙන මොනිටර් එකක් සහිත මේසයක් ඉදිරිපස පුටුවක ඉදන් ඉන්න "මම" ඒ වර්තමානයයි. කොහොම හරි වර්තමානයට ආපු එකේ තවත් බල බල නොයිද කතාව පටන් ගන්නම්  නවත්තපු තැනින්.

පලවෙනි කොටස කියවන්න බැරි වුනා නම් මෙතනට ගිහින් මුලින්ම ඒක කියවල එන්න.

2012 ජනවාරි 01
වෙලාව හවස 5ට විතර, රෙස්ටුරන්ට් එකක 6ට කපපු විශාල ෆීසා රොටියක් තිබුණු මේසයක් වටේ ඉදගෙන හිටපු මිනිසුන් 4දෙනෙක්.  එහි සිටි එකෙකු ඔහුගේ වසර කිහිපයක් පැරණි කුළුදුල් ප්‍රේම වෘතාන්තය (නෑ එතනට එන්න ඕන හොදම වචනෙ ඒකපාර්ශවික ප්‍රේමය) ගැන පවසමින් සිටී. අනෙක් තිදෙනා එයා අසනවා සේ පෙන්වමින්, ෆීසා කමින් සිටියි. ඒක වරම ඒ තිදෙනාගෙන් එකෙක්, "මල්ලි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒ කෙල්ල උබව කඩේ ඇරල",  කතාව කියූ තැනැත්තා මේ බව දැන නොසිටියාම නෙවෙයි ඒත් ඒ දවස්වල ඔහුගේ හිතේ සිටියේ ඇය පමණයි. (දැනුත් එහෙමද දන්නෙ නෑ) එනිසා ඇය කුමක් කීවත්, කුමක් කලත්, ඇයගේ නොහොදක් ඔහුට නොපෙනුණි (හිත ගිය තැන මාලිගාව කියල කියනවනෙ).  " එතකොට ඔය කෙල්ලවත් හම්බ වෙලා එන්නද යන්නේ. මම හිතුව එකපාරටම උබ ලංකාවට යනවා කියල කියපුවහම " ඒ එතන සිටිය තවත් අයෙකි. "එහෙම තමයි අයියෙ හිතාගෙන හිටියෙ. ඒත් එයාව කන්ටැක් කරගන්න විදියක් නෑ. ෆේස් බුක් එකෙනුත් අයින් වෙලා මොබයිල් එක වැඩ කරන්නෙත් නෑ"

2012 ජනවාරි 02
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"

2012 ජනවාරි 03
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"

2012 ජනවාරි 04
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"

2012 ජනවාරි 05
ගුවන් ගතවීමට මොහොතකට පෙර
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක, ටික වෙලාවක් රිංස් ගිහිල්ල කට් වුනා.

2012 ජනවාරි 06 (කතාවෙ අන්තිම දවස)
ලංකාවට ගොඩ බහිනකොට පාන්දර 3 විතර වෙන්න ඇති. කිසිම දෙයක් අරගෙන ආපු නැති නිසා වැඩි රස්තියාදුවක් නැතිව පාන්දර 4 විතර වෙනකොට ගෙදර එන්න පුළුවන් වුනා. ෆ්ලයිට් එකේ හොද නින්දක් දාගෙන ආපු නිසා නිදිමතක් අහලකවත් නෑ. අම්මයි මල්ලියි එක්ක කතා කර කර 6 විතර වෙනකම් ඉදල මම ඇදට ගියා. වෙනදට ඇදට පැනපු ගමන් නින්ද යන මට එදා ඇදට ගිහිල්ල පැය බාගයක් ඉදලත් නින්ද ගියෙ නෑ. ඒ හින්ද මම එයාට කෝල් එකක් ගත්ත. එයාට අමතක වෙලා තිබුන මගෙ ලංකාවෙ නම්බර් ඒකෙන්.
එයා :- හෙලෝ කවුද කතාකරන්නෙ ?
මම :- නංගි මේ ........... (හිස් තැනට රුචා කියලම දාමු)
එයා :- ආ අයිය කවදද ආවෙ ?  මට කටහඩ අදුරගන්නත් බැරි වුනා (මාව අදුරගන්න බැරිවුනා කෙනා කොහොමද මගෙ කටහඩ අදුරගන්නේ)
මම :- ඔව් නංගි මේ දවස් හෙම්බිරිස්සාව හැදිලා.
එයා :- ඒ කටහඩ ලස්සනයි හෙම්බිරිස්සාව හැමදාම තියා ගන්න. (ඔයා කියනකන් හිටියෙ)
මම :- ඒක නෙවෙයි නංගි එදා අහපු දේට මොකද කියන්නෙ. හම්බවෙන්න පුලුවන්ද?
එයා :- මම අයියාට මැසේජ් එකක් එවන්නද?
මම :- හා
එයා :- එහෙනම් මම තියන්නද?
මම :- හා

ෆෝන් එක අත් දෙකෙන්ම අල්ලාගෙන තව විනාඩි 15ක් විතර බලන් ඉන්න ඇති. බැරිම තැන

මම : නංගිගෙ මැසේජ් එක එනකම් බලන් ඉන්නවා. (කියල මැසේජ් එකක් යැව්වා.)
එයා :දැන් මම ගෙදර. තව ටිකකින් ගම්පහ එනව. ඕන නම් එන්න. නැත්තන් කැම්පස් එක ලගට ඕන වෙලාවක එන්න. නැත්තන් හවස 4.30ට විතර ගම්පහට එන්න.මොකද කරන්නෙ? මැසේජ් මී
(හ්ම්ම් ඔෆ්ෂන් 3ක් තියනව උදේ,දවල්,හවස මම නම් ඉතින් ඔය 3ටම කැමතියි)
මම :- නංගිට පහසු වෙලාව මොකක්ද
එයා :- ඕන එකක්. මට මොකත් එකයි. ඉක්මනට කියන්න.
මම :- හරි නංගි මම දැන් එන්නම්

ෆෝන් එක රිං වෙන සද්දෙට මම ඇහැරුනා.  එතකොටත් මම විනාඩි 20ක් විතර නිදාගෙන.

මම : -හෙලෝ
එයා :- අයිය කොහෙද ඉන්නෙ. මම ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ. (තවම ගෙදර නංගි කිව්වොත් කෙල්ල යනව)
මම :- මම මේ එන්න එලියට බැස්ස විතරයි. මට විනාඩි 15ක් දෙන්න
එයා  :- විනාඩි 15ක්. මට ගොඩක් වෙලා නම් මෙතන ඉන්න බෑ. අයිය ඉක්මනට එන්න. නැත්තන් මම යන්නම්
මම :- නෑ මම විනාඩි පහළො...(එයා ෆෝන් එක කට් කළා)
 

මතුවට සම්බන්දයි....!!!
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
ප.ලි 
සොරි වෙන්න ඕනෙ අදත් ඉවර කරගන්න බැරි වුනා. නිදි මතයි. ඊලග කොටසින් නම් ඉවර කරනව කරනව කරනවමයි.

Wednesday, January 18, 2012

ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වේ.... (1)


මත් හිතන් හිටියෙ ජනවාරි 7 ගාල්ලෙ තිබුන ගෙට්ටුගෙදර් එක ගැන පෝස්ට් එකක් දාන්න ඒත් , ගියපු අය දාල තිබුන පෝස්ට් ටික ඔක්කම් කියෙව්වට පස්සෙ මට හිතුන මට, අලුතෙන් දාන්න දෙයක් ඉතිරි වෙලා නෑ කියල. අනික එදා වෙච්ච සමහර දේවල් මම දැන ගත්තෙත් මේ පෝස්ට් වලින්. මොකද එදා මම හිටියෙත් පියවි සිහියෙන් නෙවෙයි කොහෙද නෙ. :D ඉතින් ඒක නිසා මම තීරණය කළා ජනවාරි 6 වෙනිදා මම ගිය කැළණි ට්‍රිප් එක ගැන ලියන්න.

ම්ම්ම්.... මම මේ කියන්න හදන කතාව ගාල්ලෙ ගමනට කෙලිනම් සම්න්බන්දයක් නම් නෑ. හැබැයි සම්බන්දයක් නැත්තෙමත් නෑ. මට තේරෙන විදියට නම් මේක දබුලු ගිහින් තලගොයිත් මරාගෙන එනව වගේ කතාවක්. ඒත් මට නම් තලගොයෙක් තියා කබරයෙක් වත් මරා ගන්න හම්බවුනේ නෑ.

2011 දෙසැම්බර් 30 (හරියටම කතාව පටන් ගන්නෙ මෙදා ඉදන්)
සිකුරාදා දවසක් හින්ද නැගිටිනකොට හවස 4ත් පහුවෙලාද කොහෙද, ඒ නැගිට්ටෙත් කාම්බරේ දොර කැඩෙන්න වගේ ගහපු සද්දෙට. "කෑම හදල නැගිටලා කාල ඉන්න" කියල කටහඩකුත් ආව. දැන් නම් ඉතින් නැගිටින්නම වෙනව. මමත් නැගිටලා මූන කට හෝදගෙන කෑම කාල එහෙම ඉදගත්ත ලැප් එක ලගින්. කට්ටිය ඔක්කොම ලෑස්ති වෙනව ජනවාරි 7 වෙනිද ගාලු යන ගමනට. ඒ ඇවිත් තිබුන මේල් ටික දැක්කහම මටත් යන්නමයි හිතුනෙ. ඒත් කොහොම හරි අමාරුවෙන් ඒ ආශාව යටපත් කරගත්ත. හැබැයි එකම එක මේල් එකක් දැම්ම "මටත් එන්න ආසයි" කියල.

2011 දෙසැම්බර් 31
වෙලාව දවල් 12.22 ෆේස් බුක් චැට් එකක් මමයි එයයි
මම :- හායි (හැමදාම වගේ එදත් මම තමයි මුලින්ම හායි කියල තියෙන්නෙ)
එයා :- හායි, මොකද අනේ විශ් කලාම රිප්ලයි නැත්තෙ (ෆේස් බුක් එකේ ශෙයා කරපු ෆොටෝ එකක් ගැන මේ කියන්නෙ)
මම :- දැන්ම බෑ රෑ 12න් පස්සෙ
එයා :- ඒ වුනත් මම දාපු ෆොටෝ එකට ලයික් එකක් වත් දාන්නකො
මම :- ඒක ඔයාද හැදුවෙ
එයා :- මම නෙවෙයි තමයි හැදුවෙ, මම ඔය පාට පාට ඒවට ආස නෑ නෙ
මම :- ඒ කියන්නෙ
එයා :- මොකක් ගැනද අහන්නෙ
මම :- "මම ඔය පාට පාට ඒවට ආස නෑ නෙ" කියල කිව්වෙ මොකක් ගැනද
එයා :- නෑ අනේ මම දාපු ෆොටෝ එක සෝ චාම් නෙ. ඒකයි
මම :- හ්ම්ම්, ඒක නෙවෙයි නංගි 6 හරි 8 හරි නිවාඩුද (ඔලුව දාන්න කලින් මුට්ටිය දාල බලන්න එපෑ ගෙදර හොරු.. නෑ ගෙදර මිනිස්සු ඉන්නවද කියල)
එයා :- ඇයි අහන්නෙ ? (ශික් ගැහුව පොල්ලෙන්)
මම :- නෑ නිකන් ඇහුවෙ
එයා :- 6 නිවාඩුයි
මම :- මම ආවොත් එදාට හම්බවෙන්න පුලුවන්ද :P
එයා :- බලමු. (ගෑණු ළමයි බලමු කියන්නෙ හා කියන එකටද)
මම :- 7 වෙනිදා ගෙට්ටුගෙදර් එකක් තියනව. මමත් ඉතින් ඒකට එන්න හිතන් ඉන්නව. (පට්ට පල් බොරුවක්. ඒ වෙනකොට මම ලංකාවට යන්න හිතල තිබුනෙ නෑ )
එයා :- සෝ
මම :- මම එන එක තවම ශුවර් නෑ. එන්න පුළුවන් වුනොත් ආසයි හම්බවෙලා නංගිත් එක්ක කතා කරන්න :D (දැන්නම් අනිවා ලංකාවට යනව)
එයා :- හ්ම්ම් බලමු
එයා :- හැබැයි සින්දු කියන්න ඔට්ටු නෑ . ස්පෙශලි හින්දි එව්ව
මම :- ආයෙ කවදාවත්ම නෑ :D (සින්දු නෙවෙයි නංගි ඔයා කියනවනම් කතාත් නොකර ඉන්නම්)
මම :- අර සීඩි ටිකත් මම අරන් එන්නම් (එයා ආසම බෑන්ඩ් එකේ ඇල්බම් වගයක්)
එයා :- අනේ එපා මට මුකුත් ගේන්න ඕනෙ නෑ
මම :- එහෙනම් ඉතින් අපේ මල්ලිටවත් ඒ ටික දෙන්නම් (ඔයාට එපා නම් වෙන කාටවත් දෙන්නෙ කොහොමද මම ම තියා ගන්නව)
එයා :- අන්න හොදයි
මම :- එතකොට ඔයා මට, අර මම කියපු පොත ගෙනත් දෙන්නෙ නැද්ද?
එයා :- වෙන දවසක දෙන්නම්
මම :- හා එහෙම වුනොත් අපිට ආයෙමත් හම්බවෙන්න පුළුවන්
එයා :- නෑ මම පෝස්ට් කරන්නම්
මම :- :D

දැන් ඉතින් මම ගාලු ගමන යන එක ස්ථිරයි. ආ තවම නිවාඩු අනුමත කරගන්න බැරි වුනා නෙ. මම ගියා අපේ පොඩි බොස් ලගට ගිහිල්ල සීන්ස් එක කියල දවස් 3ක නිවාඩුවක් අනුමත කරගත්ත.
මහින්ද ලංකා ෆ්ලයිට් එකෙන් අඩු ගානට ටිකට් එකකුත් අරගත්ත. කොළබ ඉදන් ගාලු යන සෙට් එකටත් මේල් එකකුත් දැම්ම "මමත් ගාලු යන්න එනේ" කියල.

බ්ලොග් ලියන සෙට් එක හම්බවෙලා කතා බහ කරන්නයි, අවුරුදු 3කින් විතර නොදැකපු, මට සුවිශේෂ කෙනෙක් හම්බවෙන්න ලැබෙන එකයි
ඇත්තටම වචන වලින් කියා ගන්න බැරි තරම් සතුටක්

2011 දෙසැම්බර් 31
වෙලාව රාත්‍රී 10.30 ට පමණ

ෆේස් බුක් චැට් ලිස්ට් එකේ ඉන්න දන්න නොදන්න හැමෝටම සුබ පතන අතරෙ, "ෆේස් බුක් යූසර්" කියල කෙනෙකුත් ඉන්නව. පරණ චැට් එකක් ඕපන් කරලා බැලුව මම මේ කවුද කියල. වෙන කවුරුවත් නෙවෙයි ඒ "එයා"
අද උදේ චැට් කරපු එයා රෑ වෙනකොට ෆේස් බුක් එකවුන්ට් එක ඩිසේබල් කරල. (අපි නම් සැලෙයි ඔව්වට) මං ලග තිබුන එයාගෙ ෆෝන් නම්බර් 2ක්. කෝල් කරල බැලුව දෙකටම, ඒ දෙකෙන්ම කිව්වෙ එකම දෙයයි "චාරයක්‌ නොමැත".
මම කොයිතරම් ට්‍රයි කලත් පුන පුනා ඒකම කියපු නිසා වැඩේ අතෑරල දැම්ම.

6 වෙනිද වෙනකම් ට්‍රයි කරනව කන්ටැක්ට් කරගන්න බැරි වුනොත් මොනව කරන්නද බුක් කරපු ටිකට් එකෙන් 6 වෙනිද ලංකාවට ඇරෙන්න කියල හිතා ගෙන ෆෝන් එක සාක්කුවෙ දාගත්ත,

මතුවට සම්බන්දයි....!!!
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅

ප.ලි
පසුව ලියන්න තියන එකත් ඊලග කොටසටම දාන්න තීරණය කළා .

Monday, January 2, 2012

නොදන්න අලුත් දෙවියට වඩා දන්න පරණ යකාම හොදා

ලැබුවා වූ නව වසර ප්‍රර්ථනාවන් ඉෂ්ඨ වෙන සුභ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්. මොකද පෝස්ට් එක ඉවර වුනහම සුබ පතන්න හම්බ වෙන එකක් නෑ

නව වසරේ උදාව, ඒ කියන්නෙ 2012.1.1. අලුයම 00.00.01ට මම අබුඩාබි ඉදල ඩුබායි වලට එන කාර් එකක පිටි පස්සෙ ශීට් එකේ ලොකු බඩ ගින්නකින් (හැම තිස්සෙම එහෙම තමා ඉතින්) මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවෙ තමයි දැක්කෙ මල් වෙඩි පත්තු වෙනව. ඒ ලස්සන මල් වෙඩි දිහා බලල මම පුංචි ප්‍රාර්ථනාවක් කලා. ඒ තමයි "ලැබුවා වූ නව වසරේ මගෙ ආර්ථිකය මල් වෙඩිල්ලක් වගේ නොවේවා කියල" මම එහෙම ප්‍රාර්ථනාවක් කලේ 2011 වසර මට ඒ වගේ වුන නිසා. මල් වෙඩිල්ලක් පත්තු කරහම ඒකට ලගා වෙන්න පුළුවන් උපරිම උඩට ලගාවෙලා ලස්සනට පුපුරල, ඉතුරු වෙන සුන්බුන් ටික හිමීට බිමට වැටෙනව. ඔව් 2011 වසරෙ මගෙ ආර්ථික තත්වෙ මල් වෙඩිල්ලක් වගේම තමා.....

❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅

මම දැන් ඉන්න තැන ගැන ලොකූ විස්තරයක් කරන්න නම් අමාරුයි. දියුණු විශාල නගරයක්, හැම තැනකම හරි අමුතු තාලෙ විශාල බිල්ඩින් නවීනපන්නෙ සුපෝඛබෝගී වාහන, එක පැත්තකින් ගලාගෙන යන ලස්සන ගගක්, තව පැත්තකින් ලස්සන පාක් එකක්. ඒ පාක් එක ඇතුලෙ හරි ලස්සන මල් වලින් පිරුණු ගස්. ඇත්තටම මේ කොහෙද කියල හිතා ගන්න බෑ. ෆෝන් එක අරන් මැප් එක ඔන් කලා මම ඉන්න ලොකේෂන් එක බලන්න. 3G සිග්නලුයි GPS සිග්නලුයි උපරිමයි හැබැයි මෙලෝ දෙයක් පෙන්නන්නෙ නෑ මම ඉන්න ලොකේෂන් එකත් නෑ මැප් එක ලෝඩ් වෙන්නෙත් නෑ. යකෝ මම මේ කොහෙටද කඩා පාත් වෙලා තියෙන්නෙ. සාක්කුවට අත දාල ප(ර්)ස් එක එලියට අරගෙන ඇරලා බැලුව. ප(ර්)ස් එකේම තියෙන්නෙ ඩිරාම් 5යි ඒ කියන්නෙ ටැක්සියක ගිහිල්ලත් හමාරයි. ඇවිද්ද දෙපය දෙදහක් වටී කියල මම හිමිහිට ඉස්සරහට ගියා.

මිනිස්සු පෝලිමක් ඈත යනව පේනව. මමත් අඩිය ඉක්මන් කරල ඒ පැත්තට ඇදුනෙ, මම මේ ඉන්නෙ කොහෙද කියල අහල බලන්න හිතාගෙන. හැමදෙනාම ගියෙ එකම තැනකට, ඒක මහ විශාල ගොඩනැගිල්ලක් ඒ වගේම හරිම ලස්සන තැනක්. මම ඒ ගොඩනැගිල්ල ලගටම ගියා. එතන හිටපු බවුන්සර්ල දෙන්නගෙන් එක්කෙනෙක් මගෙන් ඇහුව මොන රටෙන්ද කියල. මම කිව්ව ශ්‍රී ලංකාවෙන් කියල. එතන හිටපු අනිත් බවුන්සර් ටෝකන් එකකුත් මගෙ අතට දීල අර බිල්ඩිමේ දොර ඇරල දුන්න, මට ඇතුලට යන්න.

මගෙ ජිවිතේ කවදාවත් දැනිච්ච නැති සුවදක් ඒ ගොඩනැගිල්ල ඇතුලෙ තිබුනෙ. ඒ වගේම හරිම නිශ්ෂබ්දයි. තව ටිකක් ඇතුලට ගියහම මිනිස්සු කට්ටියක් වාඩිවෙලා ඉන්නව. හරියට ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න ඇවිල්ල වගේ. මමත් වාඩි වුනා එතනින්. අපි වාඩි වෙලා හිටපු තැන ඉස්සරහ ඩිජිටල් බෝඩ් එකක් තිබුන අංක පහක් තියන. ඊට ටිකක් එහාට වෙන්න කාමරයක දොරක් තිබුණ. ඒ දොර ලග බිත්තියේ පොඩි බැනර් එකක.
"Only one person from each country is chosen. So don't lose this chance" කියල ලොකු අකුරින් ගහල තිබුණ.

මොන තොප්පියක් වැටෙන්න යනවද කියල හිතාගන්න බෑ. මම ෆෝන් එක සාක්කුවෙන් එලියට අරගෙන angry birds ගේම් එක ගහන්න හදනකොටම ඉස්සරහ දොර ඇරුන, ඔයාල සුරංගනාවියො දැකල තියනවද? ඔව් ඒ දොර ඇරගෙන ආපූ ගෑණු කෙනා මනුශ්ෂ දුවක් නෙවෙයි කියල මට හොදටම විශ්වාසයි. "ඔය ලංකාවෙන් ඇවිත් ඉන්න කෙනා ඉලක්කන් අදුරන්නෙ නැද්ද" ඒ අර ගැහැනියගෙ මෘදු කටහඩ.

ඉස්සරහ ඩිජිටල් බෝඩ් එකේ 00094 කියල සටහන් වෙලා තිබුණ. මට දීල තිබුණු ටෝකන් එකෙත් 94 කියල ගහල තිබුණ. ලැජ්ජාව කන්දෙකෙන් බේරෙද්දී රතු වුන මුහුණෙන් (ඇත්තටම ලජ්ජාවට මගෙ කළු මූණ රතු වෙනවද කියල මම දන්නෙ නෑ) යුතු මම, පුටුවෙන් නැගිටල වෙවුලන දෙපයින් ඈ සිටි තැනට පියමන් කලා. ඈ විවර කල දොරෙන් මම කාමරයට ඇතුලු වුනා. මා අතුලුවුනාත් සමගම ඇයද කාමරය තුලට පැමිණ දොර වසා දැමුවා.

ඒ කාමරය තුල පැවති මද ආලෝකය පරයමින් මා දුටු දෙය මට තවම විශ්වාස කරන්න බැරි තරම්. මගේ සිත කියන විදියට මා ඒ දැක්කෙ බුසුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ සහ නබිනායක තුමා නම් ......
එම සාස්තෘ වරුන් සියසින් දකින්න තරම් මම පිං කර තිබින. මා දෙදණ බිම තබා හිදගෙන, දෑත් එක්කොට වැද ගතිමි.

"දරුව ඔබට හෝ ඔබේ රටට යහපතක් වන කැමති වර 3ක් ඉල්ලන්න"
එකවරම මට කිසිවක් කියා ගත නොහැකි වුනා. එවිටම නන්දා මාලිනියන් ගායනා කරන සිංදුවක් මගෙ මතකෙට ආව.
මා ඉල්ලූ 1 වන වරය
"බුදුණේ, ජේසුනේ, නාභි නායක තුමනී නොමිනිසුන් හට මිනිසත් කම දුන මැනවී"

මා කාමරය ඇතුලට ගත් ගැහැණිය විසින් විශාල කඩදාසි මිටියක් ගෙනවිත් මා අසල ලැබුවා.එහි පළමු කඩදාසියේ "නොමිනිසුන්ව සිට මිනිසුන් වූ වන්" කියා ලියා තිබුණ අතර පළමු වෙනි නම හැටියට ම'වින් යන්න සදහන් වෙලා තිබුනා.

මා ඉල්ලූ 2 වන වරය
"මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවී"
අර ගැහැණිය විසින් තවත් කඩදාසි කොළ කිහිපයක් ගෙනවිත් විශාල කඩදාසි මිටිය යටින් තබා, "නොමිනිසුන්ව සිට මිනිසුන් වූ වන්" යන්න ටිපෙක්ස් කර " මිනිසුන්නව සිට ප්‍රඥාවන්තයින් වූ වන්" යනුවෙන් වෙනස් කරන ලදී

මා ඉල්ලු අවසාන වරය
"ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කල මැනවී"

"දරුව දැන් ඔබ රටේ සිටින සියලූදෙනාම ප්‍රඥාවන්තයින් වී අවසානයි, ඔබ රටේ දැනට පවතින නීතිය අනුව වරකට එක් අයකු පමණක් ජානාධිපති වන නිසා අප හට කල හැක්කේ මේ ලයිස්තුවේ මුලින්ම සිටින ම'වින් නැමැත්තා ජනාදිපති කීරීම පමණි"

ෂා ෂා ෂා මේ සින්දුව ලියපු කෙනා වැඩේ කාල නෙ.ඔය මිනිහ දැන් ප්‍රඥාවන්තයෙක් වුනත්, මොනව කරයිද කියල ෂුවර් නෑ. ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් තමයි වෙන්නෙ.

"ස්වාමීන් වහන්ස මම අවසානයට ඉල්ලූ වරය පමණක් චේන්ජ්....., සොරි වෙනස් කරගන්න පුලුවන්ද"
හප්පා වෙච්චි වැඩේට වචනත් පැටලෙනව

"දරුව එසේ එක වරයක් පමණක් වෙනස් කල නොහැක, ඔබ කැමතිනම් වර තුනම අහෝසි කල හැක"

ඔව් නොදන්න අලුත් දෙවියට වඩා දන්න පරණ යකාම හොදා

"එසේනම් වර තුනම අහෝසි කල මැනවි"

" එය එසේම සිදුවනු ඇත, දැන් ඔබට යාමට අවසර"

"ඔය දොරෙන් නෙවෙයි........., පේන්නෙ නැද්ද අර අනිත් දොරේ EXIT කියල ගහල තියනව අන්න ඒකෙන් එලියට යන්න" ඒ අර ගැහැණියගෙ කට හඩයි.

මා ඒ දොර විවර කලෙමි. එහි වූ ඝණ කළුවරට මට කිසිවක් නොපෙනුණි.

❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
රොජර්, කාර් එකේ පිටිපස්සෙ දොර ඇරගෙන මගෙ කකුලෙන් අදින ගමන්.
රොජර් : රුවන් රුවන් නැගිටපන්කො. මාර ගෙරවිල්ලක් නෙ බං උබ ගෙරෙවුවෙ
මම : නින්ද ගියා බං, අපි මේ කොහෙද ඉන්නෙ
රොජර් : ඒක නම් හොද නින්ද, අපි දැන් ඩුබායි වල ඉන්නෙ කන්න නැවැත්තුව. උබට ෂවර්ම කීයක් ඕනෙද
මම : ෂවර්ම, යකෝ උබ මාව අබුඩාබි එක්කන් ගියෙ මම කියන ඕන දෙයක් කන්න අරන් දෙනව කියලනෙ. ඒකනෙ මම ආවේ උබත් එක්ක යන්න. මම ගෙදර හිටියනම් හොදට නිදා ගන්නවනෙ බං.
රොජර් : ඉතින් උබ දැනුත් කලේ නිදා ගත්ත එකමනෙ. හරි දැන් උබට මොනවද කන්න ඕනෙ.
මම : එහෙනම් ඉතින් මටත් ෂවර්ම 2ක් ඕඩර් කරපන්

ඔන්න ඔහොම තමයි මට 2012 උදාවුනෙ.

මේ තියෙන්නෙ මම අර වර 3 ඉල්ලන්න පාවිච්චි කරපු නන්දා මාලනී මහත්මිය ගායනා කරන ගීතය

බුදුනී ජේසුනී නාභි නායක තුමනී
නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවී
මිනිසුන් හට ප්‍රඥාව දෙනු මැනවී
ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කල මැනවී

අයුක්තියේ ඝණ ශිලා තලා බිද
විමුක්තියේ ජල ධාරා
මුදා හරිනු මැනවී
සිංහ වෙසින් එන සිඝාලයින්
වනසාලනු මැනවී

මිත්‍යාවේ කලු වලා කඩා හැර
විද්‍යාවේ නව රේඛා
උදාකරණු මැනවී
බැටළු වෙසින් එන ව්‍යාග්‍රයින්
හදුනා දෙනු මැනවී

ලස්සන සින්දුවක් අහලම බලන්නකො


ප.ලි
හීනෙ ෆොටෝ ගහන්න බැරි වුන හින්ද අද පෝස්ට් එකට ෆොටෝ නෑ

ප.ප.ලි
මේ පෝස්ට් එක හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි.
කාටවත් මඩ ගහන්නවත්, අපහාස කරන්නවත් ලියපු එකක් නෙවෙයි ඔන්න. :D

Real Time Web Analytics