Thursday, July 19, 2012

සංවාදයට තුඩුදුන් බුරිය

නීරස මතෘකාවක් ගැන අද මම මේ පොස්ට් එක ලියන්න හදන්නෙ. හැබැයි ඉතින් කියවන අයට නම් ලොකු වෙනසක් තේරෙන එකක් නෑ. මොකද මම වෙනද ලියපු පොස්ට් වලින් එහෙම රස නහර පිනා යන ගතියක් තිබුනේ නැති හින්ද.

මම ඉපදුන වෙලාවෙ මගෙ උප්පැන්නෙ හදන්න යන්න ඇත්තෙ මගෙ තාත්ත. ඉතින් ඒ වෙලාවෙ රෙජිස්ටාර් අහන්න ඇති තාත්තගෙන්, තාත්තගෙ ආගම මොකක්ද කියල. තාත්ත කියන්න ඇති බෞද්ධ කියල. ඒ හින්ද රෙජිස්ටාර් ලියන්න ඇති මගෙ උප්පැන්නෙ බෞද්ධ කියල ලියන්න ඇති. අන්න එදා ඉදල මම බෞද්ධයෙක්

මම බෞද්ධ වුන එක ගැන කිසිම ගැටළුවක් නෑ. ඇත්තටම මම සතුටු වෙනව මගෙ ආගම බෞද්ධ වුන එකට. ඒ වගේම මම දුක් වෙනව මගෙ ආගම බෞද්ධ ආගම වුන ක්‍රමයට. තේරුම, මම හිතන විදියට තමන්ට කැමැති ආගමක් තෝරගන්න වත් අඩුම තරමෙ  අයිතියක් තියෙන්න ඕනෙ. කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ඒ  අයිතිය අපිට තියනව කියල. ඔව් මම ඒ දේ  පිළිගන්නවා. ඒත් හැමෝටම ඒ අයිතිය තියනවද කියන එකයි ගැටලුව. කොහොම වුනත් මේ පෝස්ට් එකට ආගම් ගැන  එහෙම සෘජු සම්බන්දයක් නම් නෑ. ඒත්,

ආයෙත්, කතාව පටන් ගන්න කලින් කියන්න ඕනෙ මේක දැනට මම දරණ මතය මිස 100%ක් ම හරි මතයක් නොවෙන්න පුළුවන්. ඒ දැනට මම ඒක හරියි කියල හිතන් ඉන්නව වැරදියි කියල ඔප්පු කරන්න තරම් සාක්ෂි “මම” දැකල නැති නිසා. එහෙම සාක්ෂි තියනවනම් ඕනෑම වෙලාවක මගෙ මතය වැරදියි කියල පිළිගන්න මම සූදානම්.


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴..............................෴෴෴෴෴෴෴෴෴෴෴



අද පොඩි සංවාදයක් ගියා ඔෆිස් එකේ. ඒ සංවාදයට මූල වුනේ  මේ දවස් වල fb එකේ තියන ආදම් ගෙයි ඒව ගෙයි බුරුයයි, සොෆී ගෙ ලෝකය පොතේ තිබුන මුලින්ම ආවෙ කවුද? කුකුල් පැටියාද නැත්නම් "සංකල්ප" කුකුල් පැටියද කියන එකයි. ඇත්තටම ඒක හරි විකාරයි. ඔෆිස් එකේ වැඩක් නැති හින්ද මම නිකමට ඔය දේ ඇදල ගත්තෙ. පොඩි ෆන් එකක් ගන්නත් එක්ක. ඒත් ඒ සේරම අවුල් ජාලයක් වුනේ ආදමුයි ඒවයි දෙවියන් වහන්සේ විසින් මැව්ව කියල විශවාස කරණ කෙනෙක් අපේ ඔෆිස් එකේ හිටිය එකයි. මම එකේ කිසිම වැරද්දක් දකින්නෙ නෑ. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් විශ්වාස කරන්න, අදහන්න අයිතියක් තියනව.

ටික වෙලාවක් සංවාදය ගියා ඒක හරවත් එකක්ද එහෙම නැත්තන් කිසිම හරයක් නැති සංවාදයක්ද කියල මට ඒ තරම් තේරුමක් තිබුනෙ නෑ. මොකද සංවාදෙ එක් පාර්ශවයක් නියෝජනය කලේ මම නිසා. කොහොම උනත් අවසානයෙදී සිද්ද වුනේ දෙපැත්තෙන්ම හින්ට් ගහ ගන්න ඒක.  පැය භාගයකට විතර පස්සෙ සියල්ල යථාතත්වයට පත් වුනා. මම හිතුව මම දිනුම් කියල. ඒ වගේම ඔහුත් හිතන්න ඇති ඔහු දිනුම් කියල.

කවුරු දිනුවත් කවුරු පැරදුනත් ඒක ඒ තරම්ම වැදගත් දෙයක් නෙවෙයි. ඒත් වැඩ ඇරිල ගෙදර ඇවිත් කොමඩ් එක උඩ ඉදන් ඉන්න ගමන් කල්පනා කළා මේ දේ ගැන.  ඒ වෙලාවෙ මට හිතුන,

1. දෙවියන් වහන්සේ මිනිසුන් මැව්ව නම් ඒ කොයි කාලෙද?  (ක්‍රිස්තුපුර්ව කී වෙනි සියවසේ ද?)

2.  දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ ඒ ප්‍රාග් ෛඑතිහාසික යුගයට කලින් නම් (ඩයිනෝසෝරයින් පෟථිවි ජීවත් වෙන්නත් කලින්) ප්‍රාග් ෛඑතිහාසි යුගයේදිත් මිනිසුන්  ඩයිනෝසෝරයින් සමග වාසය කළාද ?  

3. නොඑසේනම් මිනිසුන්ව මැවුවේ ප්‍රාග් ෛඑතිහාසික යුගයට පසුව නම්, දෙවියන් වහන්සේ විසින් මුලිනම මවන ලද්දේ  ඩයිනෝසෝරයින්වද? එසේ නොමැතිනම් නම් උන් හටගත්තේ ඩාවින්චිගේ පාරිනාම වාදයට අනුවද?

4. ආදම් හා ඒවා ගෙන් අපි සියලු දෙනාම පැවත එන්නෙ නම් මිනිස් සිරුරේ ලේ වර්ග ගණන 4ක් දක්වා වෙනස් වුනේ ඇයි?

සමහර විට මේවා මහ මෝඩ ප්‍රශ්ණ වෙන්න පුළුවන් ඒත් කොමඩ් එක උඩ වාඩිවෙලා ඉන්නකොට ඔයිට වඩා දේවල් හිතෙනව හරි අඩුයි ඉතින්.

මේ ඔක්කොම දේවල් හිතිල ඉවර උනාට පස්සෙ නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ සිංදුවත් මතක් වුනා 




ආදම් ඒව මැවුවේ අපී අපී
මහබභු හැදුවේ වැදුවේ අපී අපී

වසන්තය ගිම්හානෙන් වෙන් කලේ අපී
දහවල රාත්‍රියෙන් වෙන් කලේ අපී
විශ්වය වටහා ගත්තේ
වර්ණය හදුනා ගත්තේ
දෙවියන් බමුන් නොවේ
අපී අපී  අපිමයි

ආදම් ඒව මැවුවේ අපී අපී
මහබභු හැදුවේ වැදුවේ අපී අපී

කුසුම් තුරු ළපළු ලතා හැඩ කළේ අපී
සාගර ජාල දහරා  නම් කළේ අපී
භගවත්හට ගීතා ගැයුවේ
කුරාණ බයිබල ලිව්වේ
දෙවියන් බමුන් නොවේ
අපී අපී  අපිමයි

ප.ලි
මේ මම හිතන් ඉන්න විදිහ කියවන ඔයාල මිට වඩා වෙනස් විදියකට හිතන්න පුළුවන්. ඒ දේ හරි වෙන්නත් පුළුවන.

Thursday, July 5, 2012

සංගීත නයා

පොඩි කාලෙ ඉදලම සංගීතය ආශාවක් තිබුනට එය විෂයක් විදියට හදාරන්න පටන්ගත්තෙ මම, ඉස්කෝලෙ 6 පන්තියේදීයි . එවකට අප පාසලේ සෞන්දර්ය විෂය වශයෙන් තෝරාගැනීම් හතරක් විය.  එම විෂයන් හතර අතරින් මගේ  සෞන්දර්ය විෂය ලෙස මම තෝරාගත්තේ "බටහිර සංගීත" විෂයයි.

බ්‍රවුන් පේපර්  පිටකවරයක්, පියානෝ එකක ස්ටිකර් එකක්, ඊට උඩින් ඉටි කොලයක් දාපු පිටු 120 CR පොතත් අරගෙන බටහිර සංගීතෙ ඉගන ගන්න ගිය පලවෙනි දවස නම් මට ඒ තරම් මතකයක් නෑ. එදා අපිට ලොකු දෙයක් උගන්නන්න නැතුව ඇති. ඒත් ඊලග දවසෙ එනකොට රූල් 5ක් තියන පොතක් තියනව අන්න ඒ පොතකුත් අරගෙන එන්න කියල ඒ ගුරුතුමිය කිව්ව වගේ මතකයි. දෙවැනි දවසෙ ඒ රූල් 5,5 තියන පොතත් අරගෙන (ඩබල් රූල් පොත වගේ රූල් තියන පොතක් ඒ පොතට කියන විශේෂ නමක් තිබුන මට ඒක දැන් මතක නෑ) අපි ගියා බටහිර සංගීතය ඉගෙන ගන්න.  හැමෝම වගේ ඒ විශේෂ පොත අරගෙන ඇවිත් තිබුන. එදා අපේ පාඩම වුනේ ට්‍රේබල් ක්ලෙෆ් ( Treble clef) එකයි  (Bass clef) එකයි අදින එක. ඉතින්  අර කිව්ව පොතේ පිටු දෙකක් පිරෙන්නෙ අපි මෙව්ව ඇන්ද. බටහිර සංගීතෙ ඉගන ගන්න අන්තිම දවස එදා කියල අපි එදා දැනගෙන හිටියෙ නෑ. තුන්වෙනි දවසෙ බටහිර සංගීතෙ ඉගන ගන්න යනකොට ඒ ගුරුතුමිය මාරුවීමක් හදා ගෙන වෙන පාසලකට ගිහින්. ඒ කාලෙ වෙනකොට වෙන ගුරුවරියෙක් අපේ පාසලේ හිටපු නැති නිසා බටහිර සංගීත විෂය උගන්වන්න අපිට සිද්ද වුනා සෞන්දර්ය විෂය මාරු කරන්න. මාත් එක්ක එකට බටහිර සංගීතය ඉගන ගන්න ගිය සමහර ළමයි නැටුම් විෂයත් තවත් සමහරෙක් චිත්‍ර විෂයත් තෝර ගන්නකොට මා ඇතුලු තවත් පිරිසක් පෙරදිග සංගීත විෂය තෝරා ගත්ත.

මට ඇහිල තියනව මිනිස්සු කියනව " සංගීත කියන දේ ඇගේ තියෙන්න ඕන දෙයක් " කියල. ඉතින් ඒ කියමන ඇත්ත නම් අපිට පෙරදිග සංගීතය උගන්නපු ගුරුතුමියගෙ ඇගෙත් සංගීතෙ තියෙන්න ඕනේ. ඉතින් ඒ තරම් හීනි (කෙට්ටු ) මිස් කෙනෙක් ගෙ ඇගේ සංගීතෙ තිබුනනම් මගේ ඇගේ කොයි තරම් සංගීතෙ තියෙන්න ඕනෙද, කියල මට ඒ කාලෙ හිතුන ඒත් මම කාටවත් කියන්න ගියෙ නෑ. පෙරදිග සංගීත ඉගෙන ගන්න ගිය පලවෙනි දවසෙම ඒ උගන්වන මිස් ලොකු දේශනයක් දුන්න. අලුතින් ගිය අපේ සෙට් එකෙන් භාගයක්  එදාම චිත්‍ර වලට ගියා. කොහොම හරි මම බටහිර සංගීත විෂයට ගත්ත CR පොතටම තව ලොකු CR පොතක් අලවල කොටස් 5කට බෙදල පෙරදිග සංගීත විෂය කරන්න පටන් ගත්ත

 හැමදාම අපේ සංගීත කාලපරිච්ඡේදය වුනේ විවේක කාලෙට පස්සෙ තියන කාලපරිච්ඡේදය හෝ දෙකයි . ඉස්කෝලෙ ඉන්න ගුරුවරුන්ගෙන් භාගයක් විතර විවේක කාලේදී කෑම එක උස්සන් හෝ නැතුව කෑම කන්න එන්නෙ සංගීත කාමරේට. ඉතින් ඒ ඇවිත් කෑම කාල විතරක් නොනවතින ගුරුවරුන් ඊට පසුකාලපරිච්ඡේදය ඉවර වෙනකල් කතා බහ කරලා තමයි පංති වලට යන්නෙ. ඔන්න ඔහොම තමයි මට තේරුණේ සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියල. සංගීතය ඉගෙන ගන්න හැම කෙනෙක්ම මොකක් හරි වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න දැනගෙන ඉන්න ඕනේ වුනා. මොකද ඒ කාලෙ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගෙට සංගීතය පැට්‍රිකල් එකක් තිබුන. වයලීන් එක නිකට යටින් තියාගෙන වාදනය කරන්න කොයිතරම් උත්සහ කලත් බෙල්ල කොට නිසා ඒ උත්සාහය අසාර්ථක වුණා. ඊලගට බටනාලාව පිබින්න පටන් ගත්ත. ඒත් ඒ වැඩෙත් වැඩි කල් අල්ලල ගියෙ නෑ. ඔන්න ඔය කාලෙ තමයි අපේ පංතියට අලුතෙන් ළමයෙක් ආවේ.එයාගෙ නම හෂාන්. හෂාන් ඉස්කෝලෙට එනකොට අපි හිටියෙ  8 වසරෙ. මේ හෂානුත් සෞන්දර්ය විෂය විදියට තෝර ගත්තෙ සංගීතය. මේ අලුතෙන් ආපු ළමය වාදන කරන්න  තෝර ගත්ත වාද්‍ය භාණ්ඩය වුනේ ගිටාර් එක. අන්න ඒ වෙලාවෙ මටත් පොඩි ආසාවක් ආව ගිටාර් ගහන්න ඉගෙන ගන්න. බටනලාව අතඇරපු මම, වාද්‍ය භාණ්ඩය විදියට ගිටාර් එක තෝර ගත්ත. (හෂාන් දැන් ඩොක්ටර් බෑන්ඩ් එකේ ලීඩ් ගිටාර් ගහනව, හෂාන් ලගෙ අයිය දුෂාන් දැන් ජිප්සීස් බෑන්ඩ් එකේ කීබෝඩ් ගහනව)  

ගිටාර් එක තෝර ගත්ත වගේ නෙවෙයි. ඒක ගහන්න ඉගෙන ගන්නත් ඕනෙ. ඒකට ගිටාර් එකක් ගන්නත් ඕනෙ. ඉතින් මම ගිටාර් ගැන දන්න හෂාන්ට කිව්ව මටත් ගිටාර් එකක් ගන්න ඕන කියල. එයා කිව්ව එයාලගෙ අයිය පාවිච්චි කරපු බොක්ස් ගිටාර් එකක් තියනව ඕනෙ නම් ඒක මට ගන්න කියල. ඉතින් මම ඒ ගිටාර් එක අරගෙන ගිටාර් ක්ලාස් ගිහිල්ල ගිටාර් ගහන්න පුරුදු වේගෙන එනකොටම අපේ සංගීත ගුරුතුමිය කිව්ව අපේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ විභාගෙට සංගීත පැට්‍රිකල් නෑ කියල. අන්න ඒ නිවුස් එක ඇහුන දවසෙම මම තීරණය කලා ගිටාර් පංති යන එක නවත්තන්න.

කාලය ගෙවිල ගියා සාමාන්‍ය පෙළ විභාගෙ පටන් ගත්ත. සංගීත විෂය තිබුනෙ අන්තිම දවස් වල. සංගීත ප්‍රශ්න පත්තරේ තියන දවස් දෙකකට ඉස්සෙල්ල මම ගත්ත මගෙ  6 වසරෙ ඉදල 11 වසරට වෙනකල් ලියපු , පිටු  120 CR පොතට තව පිටු ගොඩක් තියන CR පොතක්  අලවල පහට බෙදපු, ඉස්සරහ පිටුවෙ පියානෝ එකක් අලවල තිබුන සංගීත පොත. එක කොටසක භිලාවල් රාගයයි,  තව කොටසක සුළු මැදුම් තනි තිතයි ඇරුනහම තව ඒ පොතේ ලියල තිබුනෙ මකුලොලුව මහතා ගැන විතරමයි.  සංගීත පීරියඩ් එක කට් කරල චිත්‍ර කරන ළමයි එක්ක වොලිබෝල් ගහපුව මතක් වුණා පොත පෙරලලා ඉවර වෙද්දි. වෙලාවට ඤාති අයිය කෙනෙක් හිටිය සංගීත කරපු එයාගෙ පොත ඉල්ලගෙන පාඩම් කරල විභාගෙට ගියා.

සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සෙ ගිටාර් එක මොනවා වුනාද දන්නෙ නෑ. කොයි තරම් ආසාවක් තිබුනත් ආපහු සංගිත භාණ්ඩයක් ගන්නෙ නෑ කියල හිතා ගත්ත. ඒත් කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස්  වෙනවනෙ. මම ඩුබායි ඇවිල්ලත් කාලෙකට පස්සෙ ජේමිස් බ්ලන්ට්ගෙ  ( james blunt) සිංදුවක් ඇහුන. ලංකාවෙ ඉන්න කාලේ ඉදල මේ සින්දු සෙට් එක මගේ ලග තිබුනත් ඒව හරියට ඇහුවෙ මෙහෙ ආවට පස්සෙ. ඉතින් ඒ සිංදු අහනකොට ආපහු ගිටාර් ගහන්න තිබුන ආසාව එලියට ආව. මම ආපහු ගිටාර් එකක් ගත්ත. අරගෙන තනියම ඉගෙන ගන්න ට්‍රයි කළා. ඒත් වැඩේ හැරිහියෙ නෑ. ඊට පස්සෙ සර් කෙනෙක්ව හොයාගෙන මාසයක් විතර කලාස් ගියා ඒත් අන්තිමට වැඩේ අත ඇරල දැම්ම.  ඊට පස්සෙ ජේමිස් බ්ලන්ට්ගෙ  සිංදු අහන එකත් නවත්තල දැම්ම.



මාස දෙක තුනකට කලින් රවී අයියගෙ ගෙදර යනකොට එයා සිංදුවක් අහනව. මමත් ගිහිල්ල බැලුව ලස්සන සිංදුව බෑන්ඩ් එකේ නම මොකක්ද කියල අහපුවහම රවී අයිය කිව්වා ඒ  බුලට් ෆෝ මයි වැලන්ටයින් ( Bullet for My Valentine) මෙටල් බෑන්ඩ් එකක්. මේ වෙනකොට මෙටල් පිස්සුව මටත් තිබුන නිසා මමත් ගෙදර ආපු හැටියෙ මේ බෑන්ඩ් එකේ ඇල්බම් 3,4ක් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පටන්ගත්ත. දැන් මාස දෙකක් විතර එක දිගට සිංදු අහන. ඔහොම අහගෙන ඉන්නකොට තමයි මටත් එහෙම ඩ්රම් ගහන්න ඉගෙන ගන්න ආසාවක් ආවෙ.






 ගිය සතියෙ මට සෙට් වුණා බාප්පගෙ වැඩකට සංගීත බඩු කඩයකට යන්න. මෙන්න එතැන තියනවා විකුණන්න එකෝස්ටික් ඩ්රම් සෙට් එකක්. එච්චර ලොකු ගානක් වුනේ නැති වුනාට මාසෙ අන්තිමට කෝඩෙට ආහුවෙලා හිටපු හින්ද ගන්න සල්ලි තිබුනෙ නෑ. ඉතින් යොහාන් අයියගෙන් ණයක් ඉල්ලගෙන අපි ගිහිල්ල ගත්ත ඩ්රම් සෙට් එක. අරගෙන කොහොම හරි අටව ගත්ත (සෙට් කරගත්ත). ඩ්රම් ලෙසන්ස් වගයකුත් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත

ඉස්සරම මට ගිටාර් එකක් නොතිබුන කාලෙ මට හොදට නින්ද ගියා. හීන පෙනුන. ඊට පස්සෙ ගිටාර් එකත් කාම්බරේට ආපුවහම මට තවත් හොදට නින්ද ගියා. දැන් ගිටාර් එකකුයි ඩ්රම් සෙට් එකකුයි දෙකක් තියනවා. ඊයේ මම ගෙදර ගිහිල්ල හවස 6ට විතර නිදා ගත්ත අද උදේ 7 වෙනකල් හොදට නින්ද ගියා. ලස්සන හීන පෙනුන. මට කොයිතරම් සතුටුද කියනවනම් මේ සැරේ පඩි හම්බ උනහම මම කීබෝඩ් එකකුත් ගන්න හිතා ගත්ත. එතකොට තව ලස්සන හීන බලන්න පුළුවන්  නෙ.




ප.ලි

හැමෝම නයි එක්ක සෙල්ලම් දාන හින්ද මටත් හිතුන පොඩි නයි සෙල්ලමක් දාන්න. ඕනෙ වුනේ ඩ්රම් එකක් ගත්ත කියල කියන්න විතරයි ඒත් මේ නයා හෙන දුර ගියා. සොරි වෙන්න ඕනෙ.
Real Time Web Analytics