Thursday, August 23, 2012

කෙට්ටු වෙන්න කැමති හැමෝටම……. මෙන්න ක්‍රමේ.! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

 

(ආ) කොටස

මේ ලෝකෙ තියන ඕනෑම වැඩක් තනියම කරනවට වඩා සාර්ථකත්වය වැඩයි කට්ටියක් එක්ක එකතු වෙලා සාමූහිකව ඒ වැඩේ කරනව නම්. අද මම මේ කියා දෙන්න යන දේත් අන්න ඒ වගේ සාමූහිකව කරන්න ඕනේ වැඩක් .  එතකොට දැනටමත් ඔයාලට තේරෙනව ඇති නෙ මේක කට්ටියත් එක්ක එකතුවෙලා කරන්න ඕනෙ දෙයක් කියල.

හරි අපි බලමු මොනවද තව අපිට ඕන කරන දේවල් කියල. මේකට  අපිට ඕනෙ වෙනව ;

  • හොදට ඉදුණු ලොකු පළතුරු වට්ටියයි. (කට්ටිය වැඩි නම් පළතුරු වට්ටි දෙක තුනක් අරන් ගියත් කමක් නෑ.) වරක, අනෝද, දූරියන් වගේ පළතුරුත් තියනවා නම් තවත් හොදයි .
  • කුඩා පිහියක්. (ගොඩාක්ම කුඩා එකක් හරියන්නෙ නෑ)
  • හොදට ලෙලි ගහල මුඩ්ඩ අයින් කරපු වේලිච්ච පොල් ගෙඩි එකයි.
  • කපුරු පෙති පැකට් එකයි (ඇදුම් අල්මාරි වල දාන කපුරු බෝල පැකට් එක නෙවෙයි අනිත් එක)
  • සාම්බ්‍රානි පැකට් එකයි.
  • අරලිය හදුන් කූරු පැකට් එකයි
  • ගිණි පෙට්ටි එකයි.
  • මලුයි. (ඒ කියන්නෙ එක මලකට වඩා වැඩි ගානක්)

මේ ටික ඔක්කොම ලෑස්ති කරගන්න පුළුවන් නම් ඔයාලටත් පුළුවන්  මම මේ කියන ක්‍රමේ අත්හදා බලන්න. තව එක දෙයක්. පන්සල ලග පාතක වෙලක් එහෙමත් තියනවනම් මේ වැඩේට තවත් හොදයි.

අසන්නෙක් : පන්සල් යනකොට තෙල්, පහන්තිර එහෙමත් අරන් යනව නේද. ඒත් මේ ලිස්ට් එකේ එව්ව නෑ නෙ.

“ටිකක් ඉන්නකෝ කියල ඉවර වෙනකල් පනින්නෙ නැතුව.”

හරි මම අර කිව්ව  කළමනා ටිකත් ලෑස්ති කරගෙන යාළුවො ටිකත් එක්ක හොදට පේ වෙලා ගෙදර අයටත් කියල එලියට බහින්ඩයි තියෙන්නෙ.

පන්සල් යනකොටත් හරිම විමසිල්ලෙන් යන්න ඕනෙ. වෙලට මායිම් වන, පන්සලට කිට්ටුව පාලු වත්තක් එහෙම තියනවද කියල බලන්න. (පන්සල ගාව වෙලක් නැති උනත් කමක් නෑ පාලුවට ගිය වත්තක් තියනවා නම් )

කට්ටියම මේ වත්තට යන්න ඕනෙ. ගිහිල්ල මුලින්ම කරන්න තියෙන්නෙ වත්තෙ හොද තැනක් බලල හදුන් කූරු ටික පත්තු කරන එක. කට්ටියටම එතන ඉදගන්නත් පුළුවන් නම් තවත් හොදයි. ඊට පස්සෙ අර ගෙනාපු මල් ටික පාවිච්චියට ගන්න පුළුවන්. මල් පාවිච්චි කරල ඉවර උනාට පස්සෙ හොද බඩගින්නක් එයි. අන්න ඒ වෙලාවට  අර ගෙනාපු පළතුරු ටික කෑවනම් හරියටම හරි.  ඔය ඔක්කොම ඉවර වුනාට පස්සෙ පන්සලට ගිහිල්ල ටිකක් කැරකිලා ලොකු හාමුදුරුවන්ටත් වැදලා තමා ගෙදර එන්න ඕනෙ. ඒ ඇවිල්ල ගෙදර උයල තියන බත් එකෙත් මල්ලිගෙ පංගුවත් එක්ක කන්න ඕනෙ. මේක ඉතින් දවසක් දෙකක් කරල නම් හරියන්නෙ නෑ. මාසයක් වත් එකදිගට නොකඩවා කරන්න ඕනෙ. හැමදාම එකම පන්සලකට යන්නෙත් නැතුව මාරු වේවි යාලුවන්ගෙ ගම් වල පන්සල් වලටත් ගියාට කමක් නෑ, මේ ටික හරියටම කරොත් මහත් වෙන එක නවත්තන්න වයිමටවත් බෑ.

අනික ගෙදරට කියන්න පුළුවන් විභාගෙ හොදට කරන්න පුළුවන් වෙන්න බෝධි පුජා කරන්න යනව කියල. එහෙම නැත්තන් ජොබ් එකේ පඩි වැඩි වෙන්න කියල බෝධි පුජා කරන්න යනව කියල. ඔය මොනවා කිව්වත් ගෙදරින් ෆුල් සපෝට් එක ලැබෙනව මේ වැඩේ ට. සමහර විට පළතුරු ගන්නම සල්ලිත් දෙයි.

හරි ඕක තමයි ඉතින් මහත් වෙන්න තියන ලේසිම විදිහ. හරි කාට හරි ප්‍රශ්න එහෙම තියනවද අහන්.

නැවත අසන්නෙක්  : අර මල් ජාතිය අපි දන්න මල් ජාතිය නෙවෙයි ද වෙනස් එකක් ද?

“ඇත්තටම  උඩින්ම තියන  (අ.) කොටස කියවල ආව නම් මේ ප්‍රශ්ණය අහන්න ඕනෙ නෑ. (අ) කොටසට අනුව වෙලා සකසා ගන්නා ඒ ද්‍රව්‍යට සාමාන්‍ය විවාහාරයේ “මල්” කියල කියනවා. “

එම ආසන්නම : ඒත් (අ.) කියල කොටසක් නෑ නෙ

“ඇත්තටම  ඒ කොටස අදාළ බලදාරියා විසින් කපා හැරලා”

තවක් අසන්නෙක් : සාම්බ්‍රානි, කපුරු පෙති පැකට්, පොල් ගෙඩියක් අරන් යන්නම ඕනෙ ද

“දැන් මෙහෙම නේ. සමහර ගම් වල තියන හදුන් කූරු ඒ තරම් සුවද නෑ ඒ වගේ වෙලාවට අර පොල් ගෙඩිය බිදල පොල් මදේ ටික අයින් කරල  පොල් කට්ටට කපුරු පෙති ආධාරයෙන් පුච්චල ගින්න නිවල සාම්බ්‍රානි ටිකක් දාගත්තම හොද සුවදයි”

විද්වත්  අසන්නෙක් : (එටකොට අර කලින් ඔක්කොම අවිද්වත් ද)  මේ වගේ මාධ්‍ය වල ඔබතුමාලා මේ වගේ කතා කියන එක හරිද? ඊලග පරපුර මෙව්වයින් ගන්න ආදර්ශය මොකක් ද?

“හරි අපි එහෙනම්  +17 කියල කියමු. එතකොට ඕන දෙයක් කියන්න පුළුවන් නෙ”

 

……………………………………………………………………………………………….

ක්‍රින් ක්‍රින් ක්‍රින්   ක්‍රින්ක්‍රින්ක්‍රින්

මම : හලෝ (නිදි මතින්)

එහා පැත්තෙන්  : මල්ලි අදත් නායි වගේ. දැනටමත් නාල තියෙන්නනේ

මම : ඇයි.

එහා පැත්තෙන් : නෑ.. කෙට්ටු වෙන්න ක්‍රමයක් කියල කියල ටයිටල් එක දාල මහත් වෙන හැටි ලියල තියෙන්නෙ.

මම : අප්පටසිරි මහත  ක්‍රමයක් කියන එක වෙනුවට වැරදිලා කෙට්ටු කියල නේද වැටිල තියෙන්නෙ.

එහා පැත්තෙන් : මේ උබ ලංකාවෙ ඉන්නකොට හොදට මල් පාවිච්චි කරා නේද? මෙහෙ අපිට බබා පාට් එක දැම්මට

මම : සත්තයි නෑ

එහා පැත්තෙන් : එහෙනම් කොහොමද ඔච්චර හොදට දන්නෙ

මම : අපේ නැන්දගෙ පුතා  රොෂාන් එයා තමා මටත් කිව්වෙ නැත්තන් මම මෙව්ව දන්නෙ නෑ.

එහා පැත්තෙන් : හික් හික්. හරි හරි ටයිටල් එක වෙනස් කරල ආපහු පබ්ලිෂ් කරපන් එහෙනම්.

මම : මම මේ අයියගෙන් අහන්න හැදුවෙ මම පබ්ලිෂ් කරන්නත් කලින් කොහොමද අයිය කියෙව්වෙ කියල.

එහා පැත්තෙන් : මේ පබ්ලිෂ් වෙලා තියෙන්නෙ යස අගේට

මම : අඩේ බීටල් අයියගෙ පෝස්ට් එකේ තිබුන ආයුද මරු නෙ මම මේ Windows Live Writer එකෙන් බ්ලොග් එක ලියන ගමන් ඒකෙ තිබ්බ Publish බටන් එන විහිලුවට වගේ එබුවෙ. ඒ කියන්නෙ ඒක එබුවහම පෝස්ට් එක පබ්ලිෂ් වෙලාද?

එහා පැත්තෙන් : එහෙම තමා වෙන්න ඇත්තෙ. මේ මම යනව බං නිදා ගන්න ගුඩ් නයිට්

මම : එසේම වේවා……….!!!

 

 

ප.ලි

අද පෝස්ට් එකට ප.ලි කෑල්ල  නෑ..

Thursday, July 19, 2012

සංවාදයට තුඩුදුන් බුරිය

නීරස මතෘකාවක් ගැන අද මම මේ පොස්ට් එක ලියන්න හදන්නෙ. හැබැයි ඉතින් කියවන අයට නම් ලොකු වෙනසක් තේරෙන එකක් නෑ. මොකද මම වෙනද ලියපු පොස්ට් වලින් එහෙම රස නහර පිනා යන ගතියක් තිබුනේ නැති හින්ද.

මම ඉපදුන වෙලාවෙ මගෙ උප්පැන්නෙ හදන්න යන්න ඇත්තෙ මගෙ තාත්ත. ඉතින් ඒ වෙලාවෙ රෙජිස්ටාර් අහන්න ඇති තාත්තගෙන්, තාත්තගෙ ආගම මොකක්ද කියල. තාත්ත කියන්න ඇති බෞද්ධ කියල. ඒ හින්ද රෙජිස්ටාර් ලියන්න ඇති මගෙ උප්පැන්නෙ බෞද්ධ කියල ලියන්න ඇති. අන්න එදා ඉදල මම බෞද්ධයෙක්

මම බෞද්ධ වුන එක ගැන කිසිම ගැටළුවක් නෑ. ඇත්තටම මම සතුටු වෙනව මගෙ ආගම බෞද්ධ වුන එකට. ඒ වගේම මම දුක් වෙනව මගෙ ආගම බෞද්ධ ආගම වුන ක්‍රමයට. තේරුම, මම හිතන විදියට තමන්ට කැමැති ආගමක් තෝරගන්න වත් අඩුම තරමෙ  අයිතියක් තියෙන්න ඕනෙ. කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ඒ  අයිතිය අපිට තියනව කියල. ඔව් මම ඒ දේ  පිළිගන්නවා. ඒත් හැමෝටම ඒ අයිතිය තියනවද කියන එකයි ගැටලුව. කොහොම වුනත් මේ පෝස්ට් එකට ආගම් ගැන  එහෙම සෘජු සම්බන්දයක් නම් නෑ. ඒත්,

ආයෙත්, කතාව පටන් ගන්න කලින් කියන්න ඕනෙ මේක දැනට මම දරණ මතය මිස 100%ක් ම හරි මතයක් නොවෙන්න පුළුවන්. ඒ දැනට මම ඒක හරියි කියල හිතන් ඉන්නව වැරදියි කියල ඔප්පු කරන්න තරම් සාක්ෂි “මම” දැකල නැති නිසා. එහෙම සාක්ෂි තියනවනම් ඕනෑම වෙලාවක මගෙ මතය වැරදියි කියල පිළිගන්න මම සූදානම්.


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴..............................෴෴෴෴෴෴෴෴෴෴෴



අද පොඩි සංවාදයක් ගියා ඔෆිස් එකේ. ඒ සංවාදයට මූල වුනේ  මේ දවස් වල fb එකේ තියන ආදම් ගෙයි ඒව ගෙයි බුරුයයි, සොෆී ගෙ ලෝකය පොතේ තිබුන මුලින්ම ආවෙ කවුද? කුකුල් පැටියාද නැත්නම් "සංකල්ප" කුකුල් පැටියද කියන එකයි. ඇත්තටම ඒක හරි විකාරයි. ඔෆිස් එකේ වැඩක් නැති හින්ද මම නිකමට ඔය දේ ඇදල ගත්තෙ. පොඩි ෆන් එකක් ගන්නත් එක්ක. ඒත් ඒ සේරම අවුල් ජාලයක් වුනේ ආදමුයි ඒවයි දෙවියන් වහන්සේ විසින් මැව්ව කියල විශවාස කරණ කෙනෙක් අපේ ඔෆිස් එකේ හිටිය එකයි. මම එකේ කිසිම වැරද්දක් දකින්නෙ නෑ. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් විශ්වාස කරන්න, අදහන්න අයිතියක් තියනව.

ටික වෙලාවක් සංවාදය ගියා ඒක හරවත් එකක්ද එහෙම නැත්තන් කිසිම හරයක් නැති සංවාදයක්ද කියල මට ඒ තරම් තේරුමක් තිබුනෙ නෑ. මොකද සංවාදෙ එක් පාර්ශවයක් නියෝජනය කලේ මම නිසා. කොහොම උනත් අවසානයෙදී සිද්ද වුනේ දෙපැත්තෙන්ම හින්ට් ගහ ගන්න ඒක.  පැය භාගයකට විතර පස්සෙ සියල්ල යථාතත්වයට පත් වුනා. මම හිතුව මම දිනුම් කියල. ඒ වගේම ඔහුත් හිතන්න ඇති ඔහු දිනුම් කියල.

කවුරු දිනුවත් කවුරු පැරදුනත් ඒක ඒ තරම්ම වැදගත් දෙයක් නෙවෙයි. ඒත් වැඩ ඇරිල ගෙදර ඇවිත් කොමඩ් එක උඩ ඉදන් ඉන්න ගමන් කල්පනා කළා මේ දේ ගැන.  ඒ වෙලාවෙ මට හිතුන,

1. දෙවියන් වහන්සේ මිනිසුන් මැව්ව නම් ඒ කොයි කාලෙද?  (ක්‍රිස්තුපුර්ව කී වෙනි සියවසේ ද?)

2.  දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ ඒ ප්‍රාග් ෛඑතිහාසික යුගයට කලින් නම් (ඩයිනෝසෝරයින් පෟථිවි ජීවත් වෙන්නත් කලින්) ප්‍රාග් ෛඑතිහාසි යුගයේදිත් මිනිසුන්  ඩයිනෝසෝරයින් සමග වාසය කළාද ?  

3. නොඑසේනම් මිනිසුන්ව මැවුවේ ප්‍රාග් ෛඑතිහාසික යුගයට පසුව නම්, දෙවියන් වහන්සේ විසින් මුලිනම මවන ලද්දේ  ඩයිනෝසෝරයින්වද? එසේ නොමැතිනම් නම් උන් හටගත්තේ ඩාවින්චිගේ පාරිනාම වාදයට අනුවද?

4. ආදම් හා ඒවා ගෙන් අපි සියලු දෙනාම පැවත එන්නෙ නම් මිනිස් සිරුරේ ලේ වර්ග ගණන 4ක් දක්වා වෙනස් වුනේ ඇයි?

සමහර විට මේවා මහ මෝඩ ප්‍රශ්ණ වෙන්න පුළුවන් ඒත් කොමඩ් එක උඩ වාඩිවෙලා ඉන්නකොට ඔයිට වඩා දේවල් හිතෙනව හරි අඩුයි ඉතින්.

මේ ඔක්කොම දේවල් හිතිල ඉවර උනාට පස්සෙ නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ සිංදුවත් මතක් වුනා 




ආදම් ඒව මැවුවේ අපී අපී
මහබභු හැදුවේ වැදුවේ අපී අපී

වසන්තය ගිම්හානෙන් වෙන් කලේ අපී
දහවල රාත්‍රියෙන් වෙන් කලේ අපී
විශ්වය වටහා ගත්තේ
වර්ණය හදුනා ගත්තේ
දෙවියන් බමුන් නොවේ
අපී අපී  අපිමයි

ආදම් ඒව මැවුවේ අපී අපී
මහබභු හැදුවේ වැදුවේ අපී අපී

කුසුම් තුරු ළපළු ලතා හැඩ කළේ අපී
සාගර ජාල දහරා  නම් කළේ අපී
භගවත්හට ගීතා ගැයුවේ
කුරාණ බයිබල ලිව්වේ
දෙවියන් බමුන් නොවේ
අපී අපී  අපිමයි

ප.ලි
මේ මම හිතන් ඉන්න විදිහ කියවන ඔයාල මිට වඩා වෙනස් විදියකට හිතන්න පුළුවන්. ඒ දේ හරි වෙන්නත් පුළුවන.

Thursday, July 5, 2012

සංගීත නයා

පොඩි කාලෙ ඉදලම සංගීතය ආශාවක් තිබුනට එය විෂයක් විදියට හදාරන්න පටන්ගත්තෙ මම, ඉස්කෝලෙ 6 පන්තියේදීයි . එවකට අප පාසලේ සෞන්දර්ය විෂය වශයෙන් තෝරාගැනීම් හතරක් විය.  එම විෂයන් හතර අතරින් මගේ  සෞන්දර්ය විෂය ලෙස මම තෝරාගත්තේ "බටහිර සංගීත" විෂයයි.

බ්‍රවුන් පේපර්  පිටකවරයක්, පියානෝ එකක ස්ටිකර් එකක්, ඊට උඩින් ඉටි කොලයක් දාපු පිටු 120 CR පොතත් අරගෙන බටහිර සංගීතෙ ඉගන ගන්න ගිය පලවෙනි දවස නම් මට ඒ තරම් මතකයක් නෑ. එදා අපිට ලොකු දෙයක් උගන්නන්න නැතුව ඇති. ඒත් ඊලග දවසෙ එනකොට රූල් 5ක් තියන පොතක් තියනව අන්න ඒ පොතකුත් අරගෙන එන්න කියල ඒ ගුරුතුමිය කිව්ව වගේ මතකයි. දෙවැනි දවසෙ ඒ රූල් 5,5 තියන පොතත් අරගෙන (ඩබල් රූල් පොත වගේ රූල් තියන පොතක් ඒ පොතට කියන විශේෂ නමක් තිබුන මට ඒක දැන් මතක නෑ) අපි ගියා බටහිර සංගීතය ඉගෙන ගන්න.  හැමෝම වගේ ඒ විශේෂ පොත අරගෙන ඇවිත් තිබුන. එදා අපේ පාඩම වුනේ ට්‍රේබල් ක්ලෙෆ් ( Treble clef) එකයි  (Bass clef) එකයි අදින එක. ඉතින්  අර කිව්ව පොතේ පිටු දෙකක් පිරෙන්නෙ අපි මෙව්ව ඇන්ද. බටහිර සංගීතෙ ඉගන ගන්න අන්තිම දවස එදා කියල අපි එදා දැනගෙන හිටියෙ නෑ. තුන්වෙනි දවසෙ බටහිර සංගීතෙ ඉගන ගන්න යනකොට ඒ ගුරුතුමිය මාරුවීමක් හදා ගෙන වෙන පාසලකට ගිහින්. ඒ කාලෙ වෙනකොට වෙන ගුරුවරියෙක් අපේ පාසලේ හිටපු නැති නිසා බටහිර සංගීත විෂය උගන්වන්න අපිට සිද්ද වුනා සෞන්දර්ය විෂය මාරු කරන්න. මාත් එක්ක එකට බටහිර සංගීතය ඉගන ගන්න ගිය සමහර ළමයි නැටුම් විෂයත් තවත් සමහරෙක් චිත්‍ර විෂයත් තෝර ගන්නකොට මා ඇතුලු තවත් පිරිසක් පෙරදිග සංගීත විෂය තෝරා ගත්ත.

මට ඇහිල තියනව මිනිස්සු කියනව " සංගීත කියන දේ ඇගේ තියෙන්න ඕන දෙයක් " කියල. ඉතින් ඒ කියමන ඇත්ත නම් අපිට පෙරදිග සංගීතය උගන්නපු ගුරුතුමියගෙ ඇගෙත් සංගීතෙ තියෙන්න ඕනේ. ඉතින් ඒ තරම් හීනි (කෙට්ටු ) මිස් කෙනෙක් ගෙ ඇගේ සංගීතෙ තිබුනනම් මගේ ඇගේ කොයි තරම් සංගීතෙ තියෙන්න ඕනෙද, කියල මට ඒ කාලෙ හිතුන ඒත් මම කාටවත් කියන්න ගියෙ නෑ. පෙරදිග සංගීත ඉගෙන ගන්න ගිය පලවෙනි දවසෙම ඒ උගන්වන මිස් ලොකු දේශනයක් දුන්න. අලුතින් ගිය අපේ සෙට් එකෙන් භාගයක්  එදාම චිත්‍ර වලට ගියා. කොහොම හරි මම බටහිර සංගීත විෂයට ගත්ත CR පොතටම තව ලොකු CR පොතක් අලවල කොටස් 5කට බෙදල පෙරදිග සංගීත විෂය කරන්න පටන් ගත්ත

 හැමදාම අපේ සංගීත කාලපරිච්ඡේදය වුනේ විවේක කාලෙට පස්සෙ තියන කාලපරිච්ඡේදය හෝ දෙකයි . ඉස්කෝලෙ ඉන්න ගුරුවරුන්ගෙන් භාගයක් විතර විවේක කාලේදී කෑම එක උස්සන් හෝ නැතුව කෑම කන්න එන්නෙ සංගීත කාමරේට. ඉතින් ඒ ඇවිත් කෑම කාල විතරක් නොනවතින ගුරුවරුන් ඊට පසුකාලපරිච්ඡේදය ඉවර වෙනකල් කතා බහ කරලා තමයි පංති වලට යන්නෙ. ඔන්න ඔහොම තමයි මට තේරුණේ සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියල. සංගීතය ඉගෙන ගන්න හැම කෙනෙක්ම මොකක් හරි වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න දැනගෙන ඉන්න ඕනේ වුනා. මොකද ඒ කාලෙ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගෙට සංගීතය පැට්‍රිකල් එකක් තිබුන. වයලීන් එක නිකට යටින් තියාගෙන වාදනය කරන්න කොයිතරම් උත්සහ කලත් බෙල්ල කොට නිසා ඒ උත්සාහය අසාර්ථක වුණා. ඊලගට බටනාලාව පිබින්න පටන් ගත්ත. ඒත් ඒ වැඩෙත් වැඩි කල් අල්ලල ගියෙ නෑ. ඔන්න ඔය කාලෙ තමයි අපේ පංතියට අලුතෙන් ළමයෙක් ආවේ.එයාගෙ නම හෂාන්. හෂාන් ඉස්කෝලෙට එනකොට අපි හිටියෙ  8 වසරෙ. මේ හෂානුත් සෞන්දර්ය විෂය විදියට තෝර ගත්තෙ සංගීතය. මේ අලුතෙන් ආපු ළමය වාදන කරන්න  තෝර ගත්ත වාද්‍ය භාණ්ඩය වුනේ ගිටාර් එක. අන්න ඒ වෙලාවෙ මටත් පොඩි ආසාවක් ආව ගිටාර් ගහන්න ඉගෙන ගන්න. බටනලාව අතඇරපු මම, වාද්‍ය භාණ්ඩය විදියට ගිටාර් එක තෝර ගත්ත. (හෂාන් දැන් ඩොක්ටර් බෑන්ඩ් එකේ ලීඩ් ගිටාර් ගහනව, හෂාන් ලගෙ අයිය දුෂාන් දැන් ජිප්සීස් බෑන්ඩ් එකේ කීබෝඩ් ගහනව)  

ගිටාර් එක තෝර ගත්ත වගේ නෙවෙයි. ඒක ගහන්න ඉගෙන ගන්නත් ඕනෙ. ඒකට ගිටාර් එකක් ගන්නත් ඕනෙ. ඉතින් මම ගිටාර් ගැන දන්න හෂාන්ට කිව්ව මටත් ගිටාර් එකක් ගන්න ඕන කියල. එයා කිව්ව එයාලගෙ අයිය පාවිච්චි කරපු බොක්ස් ගිටාර් එකක් තියනව ඕනෙ නම් ඒක මට ගන්න කියල. ඉතින් මම ඒ ගිටාර් එක අරගෙන ගිටාර් ක්ලාස් ගිහිල්ල ගිටාර් ගහන්න පුරුදු වේගෙන එනකොටම අපේ සංගීත ගුරුතුමිය කිව්ව අපේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ විභාගෙට සංගීත පැට්‍රිකල් නෑ කියල. අන්න ඒ නිවුස් එක ඇහුන දවසෙම මම තීරණය කලා ගිටාර් පංති යන එක නවත්තන්න.

කාලය ගෙවිල ගියා සාමාන්‍ය පෙළ විභාගෙ පටන් ගත්ත. සංගීත විෂය තිබුනෙ අන්තිම දවස් වල. සංගීත ප්‍රශ්න පත්තරේ තියන දවස් දෙකකට ඉස්සෙල්ල මම ගත්ත මගෙ  6 වසරෙ ඉදල 11 වසරට වෙනකල් ලියපු , පිටු  120 CR පොතට තව පිටු ගොඩක් තියන CR පොතක්  අලවල පහට බෙදපු, ඉස්සරහ පිටුවෙ පියානෝ එකක් අලවල තිබුන සංගීත පොත. එක කොටසක භිලාවල් රාගයයි,  තව කොටසක සුළු මැදුම් තනි තිතයි ඇරුනහම තව ඒ පොතේ ලියල තිබුනෙ මකුලොලුව මහතා ගැන විතරමයි.  සංගීත පීරියඩ් එක කට් කරල චිත්‍ර කරන ළමයි එක්ක වොලිබෝල් ගහපුව මතක් වුණා පොත පෙරලලා ඉවර වෙද්දි. වෙලාවට ඤාති අයිය කෙනෙක් හිටිය සංගීත කරපු එයාගෙ පොත ඉල්ලගෙන පාඩම් කරල විභාගෙට ගියා.

සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සෙ ගිටාර් එක මොනවා වුනාද දන්නෙ නෑ. කොයි තරම් ආසාවක් තිබුනත් ආපහු සංගිත භාණ්ඩයක් ගන්නෙ නෑ කියල හිතා ගත්ත. ඒත් කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස්  වෙනවනෙ. මම ඩුබායි ඇවිල්ලත් කාලෙකට පස්සෙ ජේමිස් බ්ලන්ට්ගෙ  ( james blunt) සිංදුවක් ඇහුන. ලංකාවෙ ඉන්න කාලේ ඉදල මේ සින්දු සෙට් එක මගේ ලග තිබුනත් ඒව හරියට ඇහුවෙ මෙහෙ ආවට පස්සෙ. ඉතින් ඒ සිංදු අහනකොට ආපහු ගිටාර් ගහන්න තිබුන ආසාව එලියට ආව. මම ආපහු ගිටාර් එකක් ගත්ත. අරගෙන තනියම ඉගෙන ගන්න ට්‍රයි කළා. ඒත් වැඩේ හැරිහියෙ නෑ. ඊට පස්සෙ සර් කෙනෙක්ව හොයාගෙන මාසයක් විතර කලාස් ගියා ඒත් අන්තිමට වැඩේ අත ඇරල දැම්ම.  ඊට පස්සෙ ජේමිස් බ්ලන්ට්ගෙ  සිංදු අහන එකත් නවත්තල දැම්ම.



මාස දෙක තුනකට කලින් රවී අයියගෙ ගෙදර යනකොට එයා සිංදුවක් අහනව. මමත් ගිහිල්ල බැලුව ලස්සන සිංදුව බෑන්ඩ් එකේ නම මොකක්ද කියල අහපුවහම රවී අයිය කිව්වා ඒ  බුලට් ෆෝ මයි වැලන්ටයින් ( Bullet for My Valentine) මෙටල් බෑන්ඩ් එකක්. මේ වෙනකොට මෙටල් පිස්සුව මටත් තිබුන නිසා මමත් ගෙදර ආපු හැටියෙ මේ බෑන්ඩ් එකේ ඇල්බම් 3,4ක් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පටන්ගත්ත. දැන් මාස දෙකක් විතර එක දිගට සිංදු අහන. ඔහොම අහගෙන ඉන්නකොට තමයි මටත් එහෙම ඩ්රම් ගහන්න ඉගෙන ගන්න ආසාවක් ආවෙ.






 ගිය සතියෙ මට සෙට් වුණා බාප්පගෙ වැඩකට සංගීත බඩු කඩයකට යන්න. මෙන්න එතැන තියනවා විකුණන්න එකෝස්ටික් ඩ්රම් සෙට් එකක්. එච්චර ලොකු ගානක් වුනේ නැති වුනාට මාසෙ අන්තිමට කෝඩෙට ආහුවෙලා හිටපු හින්ද ගන්න සල්ලි තිබුනෙ නෑ. ඉතින් යොහාන් අයියගෙන් ණයක් ඉල්ලගෙන අපි ගිහිල්ල ගත්ත ඩ්රම් සෙට් එක. අරගෙන කොහොම හරි අටව ගත්ත (සෙට් කරගත්ත). ඩ්රම් ලෙසන්ස් වගයකුත් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත

ඉස්සරම මට ගිටාර් එකක් නොතිබුන කාලෙ මට හොදට නින්ද ගියා. හීන පෙනුන. ඊට පස්සෙ ගිටාර් එකත් කාම්බරේට ආපුවහම මට තවත් හොදට නින්ද ගියා. දැන් ගිටාර් එකකුයි ඩ්රම් සෙට් එකකුයි දෙකක් තියනවා. ඊයේ මම ගෙදර ගිහිල්ල හවස 6ට විතර නිදා ගත්ත අද උදේ 7 වෙනකල් හොදට නින්ද ගියා. ලස්සන හීන පෙනුන. මට කොයිතරම් සතුටුද කියනවනම් මේ සැරේ පඩි හම්බ උනහම මම කීබෝඩ් එකකුත් ගන්න හිතා ගත්ත. එතකොට තව ලස්සන හීන බලන්න පුළුවන්  නෙ.




ප.ලි

හැමෝම නයි එක්ක සෙල්ලම් දාන හින්ද මටත් හිතුන පොඩි නයි සෙල්ලමක් දාන්න. ඕනෙ වුනේ ඩ්රම් එකක් ගත්ත කියල කියන්න විතරයි ඒත් මේ නයා හෙන දුර ගියා. සොරි වෙන්න ඕනෙ.

Sunday, May 20, 2012

මරා පරාජය

වෙසක් සද අහසේ නොතිබුනත් ඒ වෙසක් මාසයේ තවත් එක් උණුසුම් දවසකි. කණ් බිහිරි කරවන තරම් ඌ නලා ශබ්දයත්, බැලු බැලු අත ඇති වාහන තද බදයත් හේතුවෙන් ඒ උණුසුම් සන්ද්‍යාව විඩාබර අලස සන්ද්‍යාව බවට පත් වෙමින් තිබුණි. තවද වාහන වලින් පිටවන දුම නිසා පරිසරයේ ඇති උෂ්ණත්වය තවත් වැඩි වෙමින් තිබුණි. "බලනකොට මම විතරක් නෙවෙයි රුපියල් 500 දීල ග්‍රීන් ටෙස්ට් එක පාස් කරගෙන තියෙන්නෙ." යැයි අමල්ට සිතිනි.

අමල්, මිටි, තරබාරු සිරුරකට හිමිකම් කියන මැදි වියේ රාජ්‍ය සේවකයෙකි.අමල් තම කාර්යාල බෑගයත් අතැතිව ඈතින් බස් නැවතුම වෙත එන තම මිතුරා දෙස බලා සිටියි. අමල්ගේම වයසෙහි පසුවන, මදක් උස, උසට සරිලන සිරුරක් ඇති පුද්ගලික අංශයේ රැකියාවක් කරන ඔහු නමින් කමල් ය.

අමල් :-  මොකද මේ දවස් වල වැඩිය පේන්න හිටියෙ නැත්තෙ. වෙසක් එකට පස්සෙ අද දැක්කෙ.

කමල්:- අපිට ඉතින් උබලට වගේ නෙවෙයි නෙ බං. ගිය සති දෙකේ හදිස්සි වැඩ වගයක් තිබිල රෑ වෙනකල් වැඩ කරන්න වුනා. ඉතින් මොනවද අලුත් විස්තර එහෙම.

අමල් :-  මේ දවස් වල නම් ඉතින් එහෙමටම කියල විස්තරයක් නෑ වෙසක් නෙ.

කමල් :-  ගියෙ නැද්ද පවුලෙ කට්ටිය එක්ක වන්දනා ගමනක්වත් වෙසක් එකට

අමල් :-  මොන වන්දනා ගමන් ද බං මේ ටිවුෂන් කාරයොත් එක්ක. අපේ පොඩි කෙල්ලට වෙසක් දවසෙත් උදේ පන්තියක් තිබුන. හවස් වරුවේ ගමේ පන්සලට ගිහිල්ල එන ගමන් හන්දියේ තොරණ බලාගෙන ගෙදර ආව.

කමල් :-  මටත් නම් ඉතින් මේ ටිකේ තිබුන වඩාත් එක්ක කොහේටවත් යන්න වුනේ නෑ. පොසොන් එකටවත් යන්න ඕනෙ අටමස්ථානෙ වැදල එන්න.

අමල් :- ඒක නෙවෙයි මේ පාර හන්දියේ  තිබුණ තොරණට මාර මාතෘකාව නෙ දාල තිබුනෙ.

කමල් :- මොකක්ද ?

අමල් :- මරා පරාජය

කමල් :- ඒක නම් මේ කපේට කරන්න වෙන්නෙ නෑ අපේ ලංකාවෙ ඇස්, කණ් නැති මිනිස්සු ඉන්නකන්.

අමල්:- මොකක්ද කරන්න වෙන්නෙ නැත්තෙ

කමල්:- මරා පරාජය තමයි. ඕක කරනවනම් ඉතින් කරන්න ක්‍රමයකුත් තියනව. (කමල් වට පිට බලා අමල් ගේ කණට ලංව) TV කාරයෝ ලග තියෙන සංරක්ෂණය දර්ශන ටික ඉස්සුවනම් වැඩේ ගොඩ.

අමල් :- ඒ කොහොමද?

කමල් :- මේක නේ සීන් එක. චන්දයක් ලං වුනාම මරාට ශපෝට් කරන TV කාරයෝ ටික කරන්නෙ අර යුද්දෙ කාලේ ගත්ත වීඩියෝ ටික දාන එකන. එතකොට අපේ ශී‍්‍ර ලංකිකයන්ට ජාතික ආලය ඇති වෙලා ගිහිල්ල මරාට චන්දෙ දාල ඇවිල්ල මාස දෙක තුනකට පස්සෙ බනිනව පලු යන්න. කෑම ගණන් අරක ගණන් මේක ගණන් කිය කිය.

අමල් :- ඊලග චන්දෙටත් මරාට යුද්දෙ විකුණන්න පුළුවන් වෙයිද ඔය කියන විදිහට.

කමල් :- සංරක්ෂණ දර්ශනය ටික තිබුනොත් පුළුවන්. දැන් බලපන් මචන් අපේ ගෑණි ගෙ අම්මට ඇස් පේනව අඩුයි. ඒත් TV එක බලනව. ගිය සැරේ චන්දෙ ලංවෙලා  TV එකේ  එක එක වැඩ සටහන් යන අස්සේ යුද්දෙ කාලේ මල්ටි බැරල් එකකින් වෙඩි තියන සීන් එකක වීඩියෝ එකක් ගියා. ගෑණි ගෙ අම්ම අහපි අපේ පුතා ගෙන්. පුතේ මොනවද අර දේවතා එලි වගේ උඩ යන්නෙ කියල. ඉතින් පුතා කිව්වා ඒ ආච්චියෙ අර යුද්දෙ දිනපුවනෙ කියල.
    එතකොටම ගෑණිගෙ තාත්ත කියපි උඩු රැවුල තියෙන එකෙක්ම ඉන්න ඕනේ රට කරන්න කියල.(අමල් තම උඩු රැවුල පිරිමදිමින්)  අම්මත් ඒ වට හූමිටි දීල  බැරිබර ගාතෙ ගිහිල්ල චන්දෙ දාල ආව. ඔන්න ඔහොමයි වෙන්නේ.

අමල් :- මට තිබුන අවුල මචන් තොරණෙ නම මරා පරාජය වුනාට තිබුනෙ  ඒකෙ තිබුනෙ රූප වල කිසි ගැලපීමක් නෑ මාතෘකාවට. ගෑණු කට්ටියක් බාගෙට ඇදුම් ඇදන් නටන එව්වා. මුහුද ගොඩ ගලනව වගේ එව්වා. ඊතල ගොඩක් බුදුහාමුදුරුවන්ගෙ පැත්තට යනවා වගේ එව්ව තමයි තිබුනෙ.

කමල් :- හික් හික් හික්. එහෙනම් ඔය මාර පරාජය කියල ගහන්න ඕන තැන පාපිල්ලක් එහා මෙහා වෙලා මරා පරාජය වෙලා තියෙන්නෙ හික් හික් හික්. අපේ ටවුන් එකේ නම් පොසොන් එකට හොද වැඩක් කරන්න යන්නෙ.

අමල් :- මොකක්ද?

කමල් :- තොරණක් පොලේ ගහන්න යන්නෙ.

අමල් :- තොරණක් පොලේ ගහන්න. අර ටවුන් එකේ ඉන්න මුස්ලිම් කාරයෝ ටික එකතු වෙලා නේද ඔය වැඩේ කරන්න හදන්නෙ. හරි හොද වැඩේ ඉතින්. ටවුන් එකේ ඉන්න සිංහල මිනිස්සු ටිකට එකතු වෙලා ඕක නවත්තන්න බැරි වුනා නෙ ඇත්තට. ඒත් උබලගෙ කතාව නම් ආණ්ඩු පෙරලන්න.

කමල් :-  මුස්ලිම් කට්ටිය නම් තමා ඒ වැඩේ කරන්නෙ. කවුරු කරත් මොකක්ද තියන වැරැද්ද ඒකෙ.

අමල්:- දැන් උබ කියන්නෙ තොරණක් පොලේ ගහන එක හොද වැඩක් කියලද එතකොට.

කමල් :- අපේ ටවුන් ඒකෙ වෙන තැනක් නෑ නෙ බං ඉතින් තොරණක් හදන්න. තියන එකම තැන තමයි පොළ. ඉතින් මුස්ලිම් කට්ටිය එකතුවෙලා එතන තොරණක් හදන එකේ මට නම් කිසිම වරදක් පේන්නෙ නෑ.

අමල් :- ආ..... තොරණක් පොලේ හදනවද? මම හිතුවෙ පොලේගහල කියල. අපේ ගමේ කොල්ලො ටිකත් වෙසක් එකට අලුත් වැඩක් කලා.

කමල් :- මොකක්ද?

අමල් :- පැට්‍රල් දන්සලක් දුන්නනේ. ගමේ යෞවන සමිතියෙන් වැඩේ කලේ. හැබැයි වැඩේ නම් නියමෙට තිබුණ.

කමල් :-  එහෙනම් පැය භාගෙන් ඉවර වෙන්න ඇති.

අමල් :-  පිස්සුද දවස් දෙකක් දීලත් ඉවර කරගන්න බැරි වුනා.

කමල් :- එහෙනම් පැට්‍රල් බවුසරයක් විතර ගේන්න ඇති. කොහෙන්ද ඒ තරම් සල්ලි හොයා ගත්තෙ. බූලි අරන් ආපු අයටත් පැට්‍රල් දුන්නද?

අමල් :- අප්පෝ එච්චර පැට්‍රල් ගෙනාවෙ නෑ. බැරල් දෙකයි අරන් ආවේ මුළු වැඩේටම. ඒකත් ගෙනාවෙ වටේම තියන ගම් වලින් සල්ලි එකතු කරල.

කමල් :- ඉතින් බැරල් දෙකක පැට්‍රල් ඇති උනාද බං දවස් දෙකක් දෙන්න

අමල් :- මෙහෙමනේ වුනේ. පැට්‍රල් දුන්නෙ ප්ලාස්ටික් කෝප්ප වලට දාල නෙ. ඒ දුන්නෙත් පුට්සයිකල් වල යන වුන්ට විතරයි. කවුරුත් ගත්තෙ නෑ ඉතින්. ඔය අස්සෙ බීගෙන ආපු දෙතුන්දෙනෙක් නම් සරුවත් කියල හිතල බීල තිබුණ. හොස්පිටල් එක ලග තිබුණ හින්ද අවුලක් වුනේ නෑ.

කමල් :- ඔයින් ගියා ඇති. පුදුමයි කට්ටිය එකතු වෙලා ගහපු නැති එක.

අමල් :- දැන් අහල පහල ගම් වල සෙට් එක අපේ කොල්ලො ටික එලියට බහිනකන් බලන් ඉන්නෙ ගහන්න

කමල් :- ඒ මොකද?

අමල් :- නෑ. ඉතින් දවස් දෙකක් දන්සල දීලත්  ගෙනාපු පැට්‍රල් ටික ඉවර කරන්න බැරි වුන හින්ද ඒ ටික සමිතියේ කොල්ලො ටික බෙදා ගත්ත. ඉතින් ඕක ආරංචි වෙලා වටේම ඉන්න ගමවල් වල කට්ටිය ඉන්නෙ අපේ උන් එලියට බහිනකල්. අල්ලාගෙන නෙලන්න.

කමල් :- ඔය වගේ වැඩ කරන උන්ට නම් ගම් වල මිනිස්සු ටික එකතු වෙලා ගහන්න ඕනෙ. ආයේ ඒ වගේ වැඩ නොකරන්න.

අමල් :- එව්ව කොහෙද. පිට ගම් වලින් ඇවිත් අපේ කොල්ලන්ට ගහන්න දෙන්න පුලුවන්ද? අනික යෞවන සමිතියෙ සභාපත් අපේ ලොකු එකා. බස් එකක් එනව මං යනවා.

ප.ලි
අයියෝ බං වෙන නම් දෙකක් දාල ලියන්න තිබුණ නෙ. අමල්, කමල් කියපුවහම හරි චාටර් නෙ. නම් ඇත්තෙම නැත්තන් A මිනිහ B මිනිහ  කියල දාල ලිව්වනම් ඉවරනේ.

අප්පෝ බං එතකොට අරේ සහ මරේ ගෙන් කොපි කළා වගේ වෙනවනෙ. ඒ හින්ද ඔහොම හොදයි.




Wednesday, May 2, 2012

එක් දෙයකටවත් සමත් වෙමුද

ද මැයි මාසෙ පළවෙනිදා උනාට මෙහෙ වැඩ කරන කම්කරුවන්ට නම් තවත් එක දිනයක් විතරයි. සමහර විට මේ රටේ වැඩ කරන කම්කරුවො දන්නවද දන්නෙත් නෑ අද කම්කරු දිනේ කියල. කොහොම හරි මම අද  ලියන්න අදහස් කරන්නෙ නම් මැයි දිනේ ගැන නෙවෙයි වුනත් කතාව පටන් ගන්නෙ කම්කරුවෙක්.

මාසෙ පළවෙනිද හින්දමත් නෙවෙයි අද වැඩ ටිකක් වැඩිපුර තිබුන නිසා හරි වෙලාවටම ඔෆිස් එකට යන්න ගෙදරින් පිටත් වුනා. කිව්වට මොකද ජනවාරි පළවෙනිදා ගියාට පස්සෙ එච්චර උදෙන් ඔෆිස් එකට ගියාමයි. අපේ ඔෆිස් එක තියන බිල්ඩින් එකේ තියන අනිත් හැම ඔෆිස් එකක්ම හා හැම ශොප්  එකක්ම උදේ නමයට වැඩ පටන්ගත්තට අපේ ඔෆිස් එක විතරක් 7.30 වෙනකට වැඩ  අල්ලනව. (අපි සාපේක්ෂව වෙනස් ද කොහෙද) කොහොම හරි මමත් කුකුලවත් අතින් අරන් (කුකුළා කිව්වට කුකුළම නෙමයි චිකන් සැන්විච් එකක්) බිල්ඩින් එක පල්ලෙහා හිටපු සිකුයුරිටි ගාඩ් ටත් මෝනින් පාරක් දාගෙන එස්කලේටර් එකට නගින කොටම, ඒ රළු මදුර හඩ මගෙ දෙසවනට වැටුන. මම රළු කියල කිව්වෙ ඒක පිරිමියෙකුට ඔබිණ හඩක් වුන නිසා. 

මම එස්කලේටරයට තැබූ පය නැවත ගැනීමට සැරසුනත්, සිකුයුරිට නක්කලයට සිනා සෙමින් මා දිහා බලාගෙන සිටිය නිසා, මා  එස්කලේටරයේ ඉහලටම ඇදෙන්නට උණා. හින්දි වචන වලට හුගක්ම ලැදි  නේපාල් වචන මට දැන් ටිකක් විතර හුරු නිසා ඒ ගීතය නේපාල් ගීතයක් ලෙස මම උපකල්පනය කළා. තවද ඔවු ගායනා කල විලාෂයෙන් ඒ ගීතය විරහ ගීතයක් දෝ කියලත් මට හිතුන. කොහොම නමුත් එවන් කටහඩක් තියෙන ඔහුගේ රැකියාව ගොඩනැගිලි  සුද්ද පවිත්‍ර කරන එක. ඔහුගේ හැකියාවන් ඔහු හරියාකරව හදුනා ගත්තනම්......

ලස්සනට කවි, සිංදු ලියන්න පුළුවන් සිංහල බ්ලොගස්ල කී දෙනක් නම් බ්ලොග් අවකාශෙ ඉන්නවද? එහෙම ඉදලත් අපි අහනන අලුත් සිංදු බොහොමයක් මෙලෝ රහක් නැති, කිසි හරයක් නැති සිංදු උනේ කොහොමද?  

මීට මාස කීපයකට උඩදි යූ ටියුබ් එකේ සිංදුවක් අහගෙන ඉන්නකොට, දකුණු පැත්තෙ තිබුන ලින්ක් එකක් ක්ලික් කරල මම මගේ ජීවිතයෙන් වැඩකට නොගෙන ගෙවා දමන්න තිබුණ පැය ගානක් ඉතා ඉහළ රස වින්දනයකට හා  ජීවිතයට අලුත් අත්දැකීමකුතඑකතු කරගන්න යොදාගත්ත. මේ වීඩියෝ එක, මේ බ්ලොග් එක කියවන හැමෝම වගේ බලල ඇති ඒත් ආපහු පාරක් බැලුව කියල ඒ විනාඩි 6 අපතෙ යන්නෙ නෑ.

අදත් Susan Boyle මේ වීඩියෝ එක බලද්දී මගෙ ඇහැට කදුලක් එන එක ගැන මම පුදුම වෙන්නෙ නෑ . යූ ටියුබ් එකේ මැයගෙ  තිබුණ වීඩියෝ ටික බලල, අහල නොනැවතුන මම ඕඩියෝ ඇල්බම් දෙකකුත් හොයාගෙන මාස දෙකක් විතර එක දිගටම ඒ ගීත රසවිඳ.ඉතින් අවුරුදු 47 ගිහිල්ලත් තමන්ගෙ උත්සාහය අත් නොහැරිය ගැහැනියක් ගැන තව කවර කතා ද? 
  
ලොවින් එකෙක් ඒක දෙයකට වෙයි සමත යන කවි පදය අද කාලයට ගැලපෙන පරිදි “ලොවින් එකෙක් ඒක දෙයකට හෝ වෙයි සමත” යනුවෙන් වෙනස් කළහොත් ඕනෑම පුද්දගලයෙක් අඩුම තරමින් එක දෙයකට වත් සමත් යන අදහස එයි. ඔබ කුමකටද වඩා දක්ෂ කියා ඔබම සොයා බලන්න. ඉන්පසු උත්සහ කරන්න ඔබට ජයගත හැකියි.


ප.ලි
මම මගේ හැකියාවන් අදුන ගන්න කොට මම හිටියෙ 5 වසරෙ. අම්මගෙ, මල්ලිගෙ, පස්සෙ නංගීගෙත් සීතල වතුර පහරවල් හමුවේ එය තව වර්ධනය කරගන්න බැරි උනත් දැන් නැවත මම උත්සහ ගන්නව එය වර්ධනය කරගන්නට. මගේ එකම අරමුණ වැඩිම වෙලාවක් නිදාගෙන ගිනස් වාර්තාවක් තියන්න.
Real Time Web Analytics