Monday, January 2, 2012

නොදන්න අලුත් දෙවියට වඩා දන්න පරණ යකාම හොදා

ලැබුවා වූ නව වසර ප්‍රර්ථනාවන් ඉෂ්ඨ වෙන සුභ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්. මොකද පෝස්ට් එක ඉවර වුනහම සුබ පතන්න හම්බ වෙන එකක් නෑ

නව වසරේ උදාව, ඒ කියන්නෙ 2012.1.1. අලුයම 00.00.01ට මම අබුඩාබි ඉදල ඩුබායි වලට එන කාර් එකක පිටි පස්සෙ ශීට් එකේ ලොකු බඩ ගින්නකින් (හැම තිස්සෙම එහෙම තමා ඉතින්) මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවෙ තමයි දැක්කෙ මල් වෙඩි පත්තු වෙනව. ඒ ලස්සන මල් වෙඩි දිහා බලල මම පුංචි ප්‍රාර්ථනාවක් කලා. ඒ තමයි "ලැබුවා වූ නව වසරේ මගෙ ආර්ථිකය මල් වෙඩිල්ලක් වගේ නොවේවා කියල" මම එහෙම ප්‍රාර්ථනාවක් කලේ 2011 වසර මට ඒ වගේ වුන නිසා. මල් වෙඩිල්ලක් පත්තු කරහම ඒකට ලගා වෙන්න පුළුවන් උපරිම උඩට ලගාවෙලා ලස්සනට පුපුරල, ඉතුරු වෙන සුන්බුන් ටික හිමීට බිමට වැටෙනව. ඔව් 2011 වසරෙ මගෙ ආර්ථික තත්වෙ මල් වෙඩිල්ලක් වගේම තමා.....

❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅

මම දැන් ඉන්න තැන ගැන ලොකූ විස්තරයක් කරන්න නම් අමාරුයි. දියුණු විශාල නගරයක්, හැම තැනකම හරි අමුතු තාලෙ විශාල බිල්ඩින් නවීනපන්නෙ සුපෝඛබෝගී වාහන, එක පැත්තකින් ගලාගෙන යන ලස්සන ගගක්, තව පැත්තකින් ලස්සන පාක් එකක්. ඒ පාක් එක ඇතුලෙ හරි ලස්සන මල් වලින් පිරුණු ගස්. ඇත්තටම මේ කොහෙද කියල හිතා ගන්න බෑ. ෆෝන් එක අරන් මැප් එක ඔන් කලා මම ඉන්න ලොකේෂන් එක බලන්න. 3G සිග්නලුයි GPS සිග්නලුයි උපරිමයි හැබැයි මෙලෝ දෙයක් පෙන්නන්නෙ නෑ මම ඉන්න ලොකේෂන් එකත් නෑ මැප් එක ලෝඩ් වෙන්නෙත් නෑ. යකෝ මම මේ කොහෙටද කඩා පාත් වෙලා තියෙන්නෙ. සාක්කුවට අත දාල ප(ර්)ස් එක එලියට අරගෙන ඇරලා බැලුව. ප(ර්)ස් එකේම තියෙන්නෙ ඩිරාම් 5යි ඒ කියන්නෙ ටැක්සියක ගිහිල්ලත් හමාරයි. ඇවිද්ද දෙපය දෙදහක් වටී කියල මම හිමිහිට ඉස්සරහට ගියා.

මිනිස්සු පෝලිමක් ඈත යනව පේනව. මමත් අඩිය ඉක්මන් කරල ඒ පැත්තට ඇදුනෙ, මම මේ ඉන්නෙ කොහෙද කියල අහල බලන්න හිතාගෙන. හැමදෙනාම ගියෙ එකම තැනකට, ඒක මහ විශාල ගොඩනැගිල්ලක් ඒ වගේම හරිම ලස්සන තැනක්. මම ඒ ගොඩනැගිල්ල ලගටම ගියා. එතන හිටපු බවුන්සර්ල දෙන්නගෙන් එක්කෙනෙක් මගෙන් ඇහුව මොන රටෙන්ද කියල. මම කිව්ව ශ්‍රී ලංකාවෙන් කියල. එතන හිටපු අනිත් බවුන්සර් ටෝකන් එකකුත් මගෙ අතට දීල අර බිල්ඩිමේ දොර ඇරල දුන්න, මට ඇතුලට යන්න.

මගෙ ජිවිතේ කවදාවත් දැනිච්ච නැති සුවදක් ඒ ගොඩනැගිල්ල ඇතුලෙ තිබුනෙ. ඒ වගේම හරිම නිශ්ෂබ්දයි. තව ටිකක් ඇතුලට ගියහම මිනිස්සු කට්ටියක් වාඩිවෙලා ඉන්නව. හරියට ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න ඇවිල්ල වගේ. මමත් වාඩි වුනා එතනින්. අපි වාඩි වෙලා හිටපු තැන ඉස්සරහ ඩිජිටල් බෝඩ් එකක් තිබුන අංක පහක් තියන. ඊට ටිකක් එහාට වෙන්න කාමරයක දොරක් තිබුණ. ඒ දොර ලග බිත්තියේ පොඩි බැනර් එකක.
"Only one person from each country is chosen. So don't lose this chance" කියල ලොකු අකුරින් ගහල තිබුණ.

මොන තොප්පියක් වැටෙන්න යනවද කියල හිතාගන්න බෑ. මම ෆෝන් එක සාක්කුවෙන් එලියට අරගෙන angry birds ගේම් එක ගහන්න හදනකොටම ඉස්සරහ දොර ඇරුන, ඔයාල සුරංගනාවියො දැකල තියනවද? ඔව් ඒ දොර ඇරගෙන ආපූ ගෑණු කෙනා මනුශ්ෂ දුවක් නෙවෙයි කියල මට හොදටම විශ්වාසයි. "ඔය ලංකාවෙන් ඇවිත් ඉන්න කෙනා ඉලක්කන් අදුරන්නෙ නැද්ද" ඒ අර ගැහැනියගෙ මෘදු කටහඩ.

ඉස්සරහ ඩිජිටල් බෝඩ් එකේ 00094 කියල සටහන් වෙලා තිබුණ. මට දීල තිබුණු ටෝකන් එකෙත් 94 කියල ගහල තිබුණ. ලැජ්ජාව කන්දෙකෙන් බේරෙද්දී රතු වුන මුහුණෙන් (ඇත්තටම ලජ්ජාවට මගෙ කළු මූණ රතු වෙනවද කියල මම දන්නෙ නෑ) යුතු මම, පුටුවෙන් නැගිටල වෙවුලන දෙපයින් ඈ සිටි තැනට පියමන් කලා. ඈ විවර කල දොරෙන් මම කාමරයට ඇතුලු වුනා. මා අතුලුවුනාත් සමගම ඇයද කාමරය තුලට පැමිණ දොර වසා දැමුවා.

ඒ කාමරය තුල පැවති මද ආලෝකය පරයමින් මා දුටු දෙය මට තවම විශ්වාස කරන්න බැරි තරම්. මගේ සිත කියන විදියට මා ඒ දැක්කෙ බුසුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ සහ නබිනායක තුමා නම් ......
එම සාස්තෘ වරුන් සියසින් දකින්න තරම් මම පිං කර තිබින. මා දෙදණ බිම තබා හිදගෙන, දෑත් එක්කොට වැද ගතිමි.

"දරුව ඔබට හෝ ඔබේ රටට යහපතක් වන කැමති වර 3ක් ඉල්ලන්න"
එකවරම මට කිසිවක් කියා ගත නොහැකි වුනා. එවිටම නන්දා මාලිනියන් ගායනා කරන සිංදුවක් මගෙ මතකෙට ආව.
මා ඉල්ලූ 1 වන වරය
"බුදුණේ, ජේසුනේ, නාභි නායක තුමනී නොමිනිසුන් හට මිනිසත් කම දුන මැනවී"

මා කාමරය ඇතුලට ගත් ගැහැණිය විසින් විශාල කඩදාසි මිටියක් ගෙනවිත් මා අසල ලැබුවා.එහි පළමු කඩදාසියේ "නොමිනිසුන්ව සිට මිනිසුන් වූ වන්" කියා ලියා තිබුණ අතර පළමු වෙනි නම හැටියට ම'වින් යන්න සදහන් වෙලා තිබුනා.

මා ඉල්ලූ 2 වන වරය
"මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවී"
අර ගැහැණිය විසින් තවත් කඩදාසි කොළ කිහිපයක් ගෙනවිත් විශාල කඩදාසි මිටිය යටින් තබා, "නොමිනිසුන්ව සිට මිනිසුන් වූ වන්" යන්න ටිපෙක්ස් කර " මිනිසුන්නව සිට ප්‍රඥාවන්තයින් වූ වන්" යනුවෙන් වෙනස් කරන ලදී

මා ඉල්ලු අවසාන වරය
"ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කල මැනවී"

"දරුව දැන් ඔබ රටේ සිටින සියලූදෙනාම ප්‍රඥාවන්තයින් වී අවසානයි, ඔබ රටේ දැනට පවතින නීතිය අනුව වරකට එක් අයකු පමණක් ජානාධිපති වන නිසා අප හට කල හැක්කේ මේ ලයිස්තුවේ මුලින්ම සිටින ම'වින් නැමැත්තා ජනාදිපති කීරීම පමණි"

ෂා ෂා ෂා මේ සින්දුව ලියපු කෙනා වැඩේ කාල නෙ.ඔය මිනිහ දැන් ප්‍රඥාවන්තයෙක් වුනත්, මොනව කරයිද කියල ෂුවර් නෑ. ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් තමයි වෙන්නෙ.

"ස්වාමීන් වහන්ස මම අවසානයට ඉල්ලූ වරය පමණක් චේන්ජ්....., සොරි වෙනස් කරගන්න පුලුවන්ද"
හප්පා වෙච්චි වැඩේට වචනත් පැටලෙනව

"දරුව එසේ එක වරයක් පමණක් වෙනස් කල නොහැක, ඔබ කැමතිනම් වර තුනම අහෝසි කල හැක"

ඔව් නොදන්න අලුත් දෙවියට වඩා දන්න පරණ යකාම හොදා

"එසේනම් වර තුනම අහෝසි කල මැනවි"

" එය එසේම සිදුවනු ඇත, දැන් ඔබට යාමට අවසර"

"ඔය දොරෙන් නෙවෙයි........., පේන්නෙ නැද්ද අර අනිත් දොරේ EXIT කියල ගහල තියනව අන්න ඒකෙන් එලියට යන්න" ඒ අර ගැහැණියගෙ කට හඩයි.

මා ඒ දොර විවර කලෙමි. එහි වූ ඝණ කළුවරට මට කිසිවක් නොපෙනුණි.

❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
රොජර්, කාර් එකේ පිටිපස්සෙ දොර ඇරගෙන මගෙ කකුලෙන් අදින ගමන්.
රොජර් : රුවන් රුවන් නැගිටපන්කො. මාර ගෙරවිල්ලක් නෙ බං උබ ගෙරෙවුවෙ
මම : නින්ද ගියා බං, අපි මේ කොහෙද ඉන්නෙ
රොජර් : ඒක නම් හොද නින්ද, අපි දැන් ඩුබායි වල ඉන්නෙ කන්න නැවැත්තුව. උබට ෂවර්ම කීයක් ඕනෙද
මම : ෂවර්ම, යකෝ උබ මාව අබුඩාබි එක්කන් ගියෙ මම කියන ඕන දෙයක් කන්න අරන් දෙනව කියලනෙ. ඒකනෙ මම ආවේ උබත් එක්ක යන්න. මම ගෙදර හිටියනම් හොදට නිදා ගන්නවනෙ බං.
රොජර් : ඉතින් උබ දැනුත් කලේ නිදා ගත්ත එකමනෙ. හරි දැන් උබට මොනවද කන්න ඕනෙ.
මම : එහෙනම් ඉතින් මටත් ෂවර්ම 2ක් ඕඩර් කරපන්

ඔන්න ඔහොම තමයි මට 2012 උදාවුනෙ.

මේ තියෙන්නෙ මම අර වර 3 ඉල්ලන්න පාවිච්චි කරපු නන්දා මාලනී මහත්මිය ගායනා කරන ගීතය

බුදුනී ජේසුනී නාභි නායක තුමනී
නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවී
මිනිසුන් හට ප්‍රඥාව දෙනු මැනවී
ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කල මැනවී

අයුක්තියේ ඝණ ශිලා තලා බිද
විමුක්තියේ ජල ධාරා
මුදා හරිනු මැනවී
සිංහ වෙසින් එන සිඝාලයින්
වනසාලනු මැනවී

මිත්‍යාවේ කලු වලා කඩා හැර
විද්‍යාවේ නව රේඛා
උදාකරණු මැනවී
බැටළු වෙසින් එන ව්‍යාග්‍රයින්
හදුනා දෙනු මැනවී

ලස්සන සින්දුවක් අහලම බලන්නකො


ප.ලි
හීනෙ ෆොටෝ ගහන්න බැරි වුන හින්ද අද පෝස්ට් එකට ෆොටෝ නෑ

ප.ප.ලි
මේ පෝස්ට් එක හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි.
කාටවත් මඩ ගහන්නවත්, අපහාස කරන්නවත් ලියපු එකක් නෙවෙයි ඔන්න. :D

13 comments:

  1. හප්පෝ ඔය යකාට වැඩිය මේ ඉන්න යකා හොඳයි....අර ඇතුලේ ඉන්න දෙවියා ...එක්කෝ ඕනේ නෑ....

    ReplyDelete
  2. අලුත් අවුරුද්ද සුභ වේවා!

    ReplyDelete
  3. වෙනසක් නෑ බන් . . උඹ කියපු කෙනා සද්දේ දාලා කොරන වඩ දැන් ඉන්න කෙනා කරන්නේ සද්ද නොකර . . . ඒ නිසා දන්න යකා නොදන්න දෙයියයි දෙන්නම එකයි බන් අපේ රටේ අද දවසේ . . .

    ReplyDelete
  4. හීනෙ ලින්ක් එකක් එවන්න බැරිද මටත් යන්ඩ..

    ReplyDelete
  5. අම්මෝ. දිගගගගගගගග පෝස්ට් එකක්.. හති වැටුන කියවල.. නියම හීනෙ..

    මල් වෙඩි වගේ සුපිරි අලුත් අවුරුද්දක් වේවා !!

    හම්බෙමු ඈ...... ;)

    ReplyDelete
  6. මට පේන්නෙ මීට ඉස්සරත් ඔතනට කවුරුහරි ගිහින් තියනවා...
    දෙයියන්ට පාට් එකක් දාලා පළවෙනි වර දෙක විතරක් රිවස් කරලා...තුන්වෙනි එක ඇක්ටිව් වෙලා..

    ReplyDelete
  7. සුපිරි අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  8. ඇත්තමයි.. අහල තිබ්බට එහෙම තේරුමක් හිතුනෙ අදනෙ අප්පා...

    “දුවන මුවන් දැක නොදමවු නෙළූ පලා“ කියනවළුනෙ...

    ඇත්තට වෙන දකින්නම හීනයක් තිබ්බෙ නැද්ද මන්දා... ෂිහ්..

    ReplyDelete
  9. සුභ නව වසරක් වේවා මචෝ

    ReplyDelete
  10. හහ් හහ් හා... අලුත් අවුරුද්දේ පළවෙනි හීනේ... :D


    සුභ අඵත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  11. ඇති යාන්තම් අවුරුද්ද පටන් ගන්න කොටම නැගිට්ටා.. :) අවුරුද්දේම සුබ හිනම පෙන්න ඔනේ එවා හැබැ කරගන්නත් පුළුවන් වෙන්න ඔනේ..:D :D : සුබ නව වසරක් වේවා කිව්වා,, :)

    ReplyDelete
  12. හෙ හෙ එළ එළ මරු හීනෙ අහ් :D
    සුබම සුබ මෙව්වා අවුරුද්දක් වේවා මතං :D

    ReplyDelete
  13. @ඔබ නොදු‍ටු ලොවක් : අපි ඒ ගැන කතා නොකරම ඉමු මචං :D

    @පුසා : එසේම වේවා !!!!

    @දුකා : අයියගෙ කතාවත් ඇත්ත තමයි.

    @Loku John :ෂා මට ලින්ක් එක කොපි කරගන්න අමතක වුනානෙ

    @සිහින යා :පෝස්ට් එක හිතුවට වඩා දිග වැඩි වුනා බං. අනිවා හම්බෙමු හම්බෙමු.

    @ලකී : අනිවා මටත් හිතෙන්නෙ එහෙම දෙයක් වෙලා වගේ.

    @නිශ් : ඔබටත් එසේම වේවා !!!

    ReplyDelete

Real Time Web Analytics