එතකොට මම ඉස්කෝලෙ 10 වසරෙ විතර, ඒ කාලෙ ටීවී එකේ ගියා 24 කියල ටීවී සීරියස් එකක්. මේ සීරිස් එක නොබලපු කෙනෙක් නෑ මම හිතන්නෙ. ඒ තරමටම ප්‍රසිද්දයි. ඕකෙ එක චරිතයක් තිබුන ටෝනි කියල
ඒ චරිතෙට පන පෙව්වෙ කාර්ලොස් බර්නාඩ් කියන නළුව. ඔය පල්ලෙහා ෆොටෝ එකේ ඉන්නෙ. ඉතින් ඒ නළුවගෙ රැවුල් මෝස්තරයට මම හරි කැමැත්තෙන් හිටියෙ. (හරි හරි කෝපි කඩේ සුවදත් ඔය ස්ට්‍රයිල් එකට තමයි රැවුල කපල තිබුනෙ ඒත් මම කැමති වුනේ ටෝනිගෙ රැවුල දැක්කට පස්සෙ) ඒ කාලෙ ඉතින් අපේ මොන රැවුල් ද, තිබුන රැවුල් ගස් ටික එහෙන් මෙහෙන් කපල ඔය විදියටම නැතත් ඔයිට සමාන විදියකට හදාගෙන මමත් ඉස්කෝලෙ ගියා. සතියක් විතර යනකොට ශිෂ්‍යනායක බාර සර් ට අහුවෙලා ඒ තිබුණු රැවුල් ගස් ටිකත් කපල දැම්ම. (ටොකු දෙකකුත් ඇන්න) ඊට පස්සෙ ඉස්කෝලෙ ඉවර වෙනකම් ඒ වගේ මෝස්තර දැම්මෙ නෑ.
ආයෙ තව කාලයක් යනකොට x men කියන කවුරුත් දන්න ෆිල්ම් සීරිස් එක ආව (පලවෙනි ෆිල්ම් එක නම් ආවෙ අපි ඉස්කෝලෙ යන කාලෙමද කොහෙද) ඉතින් ආයෙමත් මට හිතුන ඒකෙ ඉන්න වොල්වරීන් වගේ කොන්ඩෙයි රැවුලයි හදාගන්න ඕනෙ කියල. ඉතින් මම මාස 6ක් විතර කොන්ඩෙ වැව්ව. (වොල්වරින් කෙසේ වෙතත් සායි බබා ගෙ ෆේස් කට් එක නම් ඒ වෙනකොට ඇවිල්ල තිබුනෙ) මම ඉතින් වොල්වරින් ගෙ ෆොටෝ එකකුත් පත්තරේකින් හොයාගෙන සැලුන් එකකට ගිහිල්ල ෆොටෝ එක බාබර්ට පෙන්නල කිව්ව මේ විදියට කොන්ඩෙයි රැවුලයි කපාගන්න ඕනෙ කියල. බාබරුත් ටික වෙලාවක් ඒ ෆොටෝ එක දිහා බලං ඉදල, (හිතින්) "දෙන්නම් වැඩේ" කියල අඩුවයි මිටියයි අතට ගත්ත. නෑ බං කතුරයි පනාවයි අරගෙන වැඩේ පටන් ගත්ත . ටික වෙලාවකට පස්සෙ මෑන්ස් (බාබර්) මාව නැගිට්ටවල "මල්ලි කොහොමද, කොන්ඩෙ හොදයිද" කියල ඇහුව. මමත් ඇහැරිලා බැලින්නම් මෑන්ස් අමුතුම කට් එකක් දීල කොන්ඩෙට. වොල්වරින් කලේ. පස්සෙ මට වැඩේ මීටර් වුනා මෑන්ස් මගෙ කොන්ඩෙ කපල තියෙන්නෙ පත්තර පිටුවෙ අනිත් පැත්තෙ හිටපු මිනිහෙකුගෙ විදියට කියල. මොනව කරන්නද ඉතින්. ආයෙ කොන්ඩෙ තිබුන විදියට අලවන්න කියල යෑ. මම කොන්ඩෙයි රැවුලයි නෝට් එකටම කපල ගෙදර ගියා.
ඊටත් ටික කාලෙකට පස්සෙ linkin park සංගීත කණ්ඩායමේ මයික් විදියට කොන්ඩෙයි රැවුලයි හදාගන්න ආසාවක් ආව. ඒ වැඩේ නම් ඒ තරම් අමාරු වුනේ නෑ හැබැයි. හැබැයි මගෙ යාළුවො නම් කිව්වෙ මම හදල තිබුන විදිහයි මයික් ගෙ කොන්ඩෙයි රැවුලයි තිබුන විදිහයි සම්පුර්ණයෙන්ම වෙනස් කියල. ඊට පස්සෙ මම එක එක අය විදියට කොන්ඩ රැවුල් හදන එක නවත්තල දැම්ම. හිතුන දාට කොන්ඩෙ කොට වෙන්නම කැපුව, නැත්තන් ටිකක් දිග වෙනකන් කපන් නැතුව හිටිය. රැවුලත් වෙලාවකට කැපුවා, වෙලාවකට වැව්ව. (රැවුල නම් වැව්වෙ කපන්න කම්මැලි කමට)
මම කොයි තරම් උත්සහ ගත්තත් තව කෙනෙක්ව අනුකරණය කරන්න ඒ හැම මොහොතෙම මට අසාර්ථක වුනා. ඒත් දෛයිවය කියනදේ මම වැඩිය විශ්වාස කලේ නැතත්, ඒ හැමදෙයක්ම වෙනස් කළා.
ඒක වුනේ මෙන්න මෙහෙමයි. මට ගිය සතියෙ ඔෆිස් එකේ වැඩකට කට්ටියක් හම්බවෙන්න වෙන ඔෆිස් එකකට යන්න වුනා. ඒ ඔෆිස් එක තිබුනෙ වෙනත් බිල්ඩින් එකක 6වෙනි තට්ටුවෙ. මම ඒ බිල්ඩින් එකට ගිහිල්ල ලිෆ්ට් එකට නැග්ග 6 වෙනි තට්ටුවට යන්න. ඒ ලිෆ්ට් එකේ එක පැත්තක උඩ ඉදන් යටට ම යනකම් ලොකු කණ්නාඩියක් හයිකරල තිබුන. මම ඒ කණ්නාඩියෙන් දැක්ක දේ මට අදහ ගන්න බැරුව ගියා. ඇත්තටම තවමත් මට හිතා ගන්න බෑ මම ඒ දැකපු දේ. ඔව් මම දැක්ක ඒ කණ්නාඩියෙන් ලෝකෙ ප්‍රසිද්ද වුන චරිතයක් මං දිහා බලාගෙන ඉන්නව . ඇත්තටම කණ්ණාඩියෙන් පෙනුන මගෙ ප්‍රතිබිම්බයෙන් මම ඔහුව දැක්ක. මම ගොඩක් දුක් වුනා මෙච්චර කලක් මට ඒ රූපෙ නොපෙනුන එක ගැන. එහෙම පෙනුන නම් මම වොල්වරින් වගේවත් මයික් වගේ වත් කොන්ඩ හදන්න දගලන්නෙ නෑ නෙ.
හරි හරි මම කියන්නම් මම ඒ වීදුරුවෙන් දැක්කෙ කාවද කියල. වෙන කවුරුවත් නෙවෙයි despicable me ෆිල්ම් එකේ ප්‍රදාන චරිතෙ රගපාන "ග්රූ" ව
ඔව් පාටෙ පොඩි අප්සට් එකක් තියනව නම් තමයි. හැබැයි ශේප් එක නම් එමම තමයි. දැන් ඉතින් මගේ එකම අරමුණ මේ ශේප් එක ජීවත් වෙලා ඉන්නකම් එකම විදිහකට තියා ගන්න එක. මොන බාදා ආවත් ඒක වෙනස් වෙන්න දෙන්නෙ නෑ නෑ නෑ මයි.
ප.ලි
ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වෙ අවසාන කොටස ලගදීම දාන්නම්. :D