Tuesday, January 24, 2012

ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වේ.... (2)

වුරුහරි කෙනෙක් මේ කතාවේ දෙවැනි කොටස කියවන්න නොයිවසිල්ලෙන් බලන් වුන්න නම්, (මම දන්නව කවුරුවත් එහෙම හිටපු නැති විත්තිය) ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා හා අනුලා ද සිල්වා මැතිණිය වෙනුවෙන් මම සමාව ඉල්ලනව.මොකද  "විජයබා කොල්ලය" ත්, "අත්තටු මැවිලා" ත්  (මුල් කෘතිය I Am Tha Wings by Christine Wilson) යන කෘති දෙක මාව ලංකාවෙ අතීතයට  අරගෙන ගියා. සතියක පමණ කාලයක් අතීතයේ ලංකාවෙ ජන ජීවිතයත්, සොබා සෞන්දර්ය යත් විදිමින් ඉදල අද ආයෙමත් වර්තමානයට ආව.බොක්ස් ෆයිල් දෙක තුනක්, කී බෝඩ් එකත් හොයා ගන්න අමාරු වෙන තරමට තැන තැන විසිරුණු ඒ4 කොළ ගොඩක්, ක්‍රීන් ක්‍රීන් හඩින් නාද වෙන දුරකතනයක් හා ෆේස් බුක් වෝල් එක දිස්වෙන මොනිටර් එකක් සහිත මේසයක් ඉදිරිපස පුටුවක ඉදන් ඉන්න "මම" ඒ වර්තමානයයි. කොහොම හරි වර්තමානයට ආපු එකේ තවත් බල බල නොයිද කතාව පටන් ගන්නම්  නවත්තපු තැනින්.

පලවෙනි කොටස කියවන්න බැරි වුනා නම් මෙතනට ගිහින් මුලින්ම ඒක කියවල එන්න.

2012 ජනවාරි 01
වෙලාව හවස 5ට විතර, රෙස්ටුරන්ට් එකක 6ට කපපු විශාල ෆීසා රොටියක් තිබුණු මේසයක් වටේ ඉදගෙන හිටපු මිනිසුන් 4දෙනෙක්.  එහි සිටි එකෙකු ඔහුගේ වසර කිහිපයක් පැරණි කුළුදුල් ප්‍රේම වෘතාන්තය (නෑ එතනට එන්න ඕන හොදම වචනෙ ඒකපාර්ශවික ප්‍රේමය) ගැන පවසමින් සිටී. අනෙක් තිදෙනා එයා අසනවා සේ පෙන්වමින්, ෆීසා කමින් සිටියි. ඒක වරම ඒ තිදෙනාගෙන් එකෙක්, "මල්ලි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒ කෙල්ල උබව කඩේ ඇරල",  කතාව කියූ තැනැත්තා මේ බව දැන නොසිටියාම නෙවෙයි ඒත් ඒ දවස්වල ඔහුගේ හිතේ සිටියේ ඇය පමණයි. (දැනුත් එහෙමද දන්නෙ නෑ) එනිසා ඇය කුමක් කීවත්, කුමක් කලත්, ඇයගේ නොහොදක් ඔහුට නොපෙනුණි (හිත ගිය තැන මාලිගාව කියල කියනවනෙ).  " එතකොට ඔය කෙල්ලවත් හම්බ වෙලා එන්නද යන්නේ. මම හිතුව එකපාරටම උබ ලංකාවට යනවා කියල කියපුවහම " ඒ එතන සිටිය තවත් අයෙකි. "එහෙම තමයි අයියෙ හිතාගෙන හිටියෙ. ඒත් එයාව කන්ටැක් කරගන්න විදියක් නෑ. ෆේස් බුක් එකෙනුත් අයින් වෙලා මොබයිල් එක වැඩ කරන්නෙත් නෑ"

2012 ජනවාරි 02
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"

2012 ජනවාරි 03
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"

2012 ජනවාරි 04
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ...... දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණා කර පසුව අමතන්න"

2012 ජනවාරි 05
ගුවන් ගතවීමට මොහොතකට පෙර
1වෙනි ෆෝන් නම්බර් එක "ඔබ ඇමතූ ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බ්ලා බ්ලා.........."
2 වෙනි ෆෝන් නම්බර් එක, ටික වෙලාවක් රිංස් ගිහිල්ල කට් වුනා.

2012 ජනවාරි 06 (කතාවෙ අන්තිම දවස)
ලංකාවට ගොඩ බහිනකොට පාන්දර 3 විතර වෙන්න ඇති. කිසිම දෙයක් අරගෙන ආපු නැති නිසා වැඩි රස්තියාදුවක් නැතිව පාන්දර 4 විතර වෙනකොට ගෙදර එන්න පුළුවන් වුනා. ෆ්ලයිට් එකේ හොද නින්දක් දාගෙන ආපු නිසා නිදිමතක් අහලකවත් නෑ. අම්මයි මල්ලියි එක්ක කතා කර කර 6 විතර වෙනකම් ඉදල මම ඇදට ගියා. වෙනදට ඇදට පැනපු ගමන් නින්ද යන මට එදා ඇදට ගිහිල්ල පැය බාගයක් ඉදලත් නින්ද ගියෙ නෑ. ඒ හින්ද මම එයාට කෝල් එකක් ගත්ත. එයාට අමතක වෙලා තිබුන මගෙ ලංකාවෙ නම්බර් ඒකෙන්.
එයා :- හෙලෝ කවුද කතාකරන්නෙ ?
මම :- නංගි මේ ........... (හිස් තැනට රුචා කියලම දාමු)
එයා :- ආ අයිය කවදද ආවෙ ?  මට කටහඩ අදුරගන්නත් බැරි වුනා (මාව අදුරගන්න බැරිවුනා කෙනා කොහොමද මගෙ කටහඩ අදුරගන්නේ)
මම :- ඔව් නංගි මේ දවස් හෙම්බිරිස්සාව හැදිලා.
එයා :- ඒ කටහඩ ලස්සනයි හෙම්බිරිස්සාව හැමදාම තියා ගන්න. (ඔයා කියනකන් හිටියෙ)
මම :- ඒක නෙවෙයි නංගි එදා අහපු දේට මොකද කියන්නෙ. හම්බවෙන්න පුලුවන්ද?
එයා :- මම අයියාට මැසේජ් එකක් එවන්නද?
මම :- හා
එයා :- එහෙනම් මම තියන්නද?
මම :- හා

ෆෝන් එක අත් දෙකෙන්ම අල්ලාගෙන තව විනාඩි 15ක් විතර බලන් ඉන්න ඇති. බැරිම තැන

මම : නංගිගෙ මැසේජ් එක එනකම් බලන් ඉන්නවා. (කියල මැසේජ් එකක් යැව්වා.)
එයා :දැන් මම ගෙදර. තව ටිකකින් ගම්පහ එනව. ඕන නම් එන්න. නැත්තන් කැම්පස් එක ලගට ඕන වෙලාවක එන්න. නැත්තන් හවස 4.30ට විතර ගම්පහට එන්න.මොකද කරන්නෙ? මැසේජ් මී
(හ්ම්ම් ඔෆ්ෂන් 3ක් තියනව උදේ,දවල්,හවස මම නම් ඉතින් ඔය 3ටම කැමතියි)
මම :- නංගිට පහසු වෙලාව මොකක්ද
එයා :- ඕන එකක්. මට මොකත් එකයි. ඉක්මනට කියන්න.
මම :- හරි නංගි මම දැන් එන්නම්

ෆෝන් එක රිං වෙන සද්දෙට මම ඇහැරුනා.  එතකොටත් මම විනාඩි 20ක් විතර නිදාගෙන.

මම : -හෙලෝ
එයා :- අයිය කොහෙද ඉන්නෙ. මම ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ. (තවම ගෙදර නංගි කිව්වොත් කෙල්ල යනව)
මම :- මම මේ එන්න එලියට බැස්ස විතරයි. මට විනාඩි 15ක් දෙන්න
එයා  :- විනාඩි 15ක්. මට ගොඩක් වෙලා නම් මෙතන ඉන්න බෑ. අයිය ඉක්මනට එන්න. නැත්තන් මම යන්නම්
මම :- නෑ මම විනාඩි පහළො...(එයා ෆෝන් එක කට් කළා)
 

මතුවට සම්බන්දයි....!!!
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
ප.ලි 
සොරි වෙන්න ඕනෙ අදත් ඉවර කරගන්න බැරි වුනා. නිදි මතයි. ඊලග කොටසින් නම් ඉවර කරනව කරනව කරනවමයි.

Wednesday, January 18, 2012

ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වේ.... (1)


මත් හිතන් හිටියෙ ජනවාරි 7 ගාල්ලෙ තිබුන ගෙට්ටුගෙදර් එක ගැන පෝස්ට් එකක් දාන්න ඒත් , ගියපු අය දාල තිබුන පෝස්ට් ටික ඔක්කම් කියෙව්වට පස්සෙ මට හිතුන මට, අලුතෙන් දාන්න දෙයක් ඉතිරි වෙලා නෑ කියල. අනික එදා වෙච්ච සමහර දේවල් මම දැන ගත්තෙත් මේ පෝස්ට් වලින්. මොකද එදා මම හිටියෙත් පියවි සිහියෙන් නෙවෙයි කොහෙද නෙ. :D ඉතින් ඒක නිසා මම තීරණය කළා ජනවාරි 6 වෙනිදා මම ගිය කැළණි ට්‍රිප් එක ගැන ලියන්න.

ම්ම්ම්.... මම මේ කියන්න හදන කතාව ගාල්ලෙ ගමනට කෙලිනම් සම්න්බන්දයක් නම් නෑ. හැබැයි සම්බන්දයක් නැත්තෙමත් නෑ. මට තේරෙන විදියට නම් මේක දබුලු ගිහින් තලගොයිත් මරාගෙන එනව වගේ කතාවක්. ඒත් මට නම් තලගොයෙක් තියා කබරයෙක් වත් මරා ගන්න හම්බවුනේ නෑ.

2011 දෙසැම්බර් 30 (හරියටම කතාව පටන් ගන්නෙ මෙදා ඉදන්)
සිකුරාදා දවසක් හින්ද නැගිටිනකොට හවස 4ත් පහුවෙලාද කොහෙද, ඒ නැගිට්ටෙත් කාම්බරේ දොර කැඩෙන්න වගේ ගහපු සද්දෙට. "කෑම හදල නැගිටලා කාල ඉන්න" කියල කටහඩකුත් ආව. දැන් නම් ඉතින් නැගිටින්නම වෙනව. මමත් නැගිටලා මූන කට හෝදගෙන කෑම කාල එහෙම ඉදගත්ත ලැප් එක ලගින්. කට්ටිය ඔක්කොම ලෑස්ති වෙනව ජනවාරි 7 වෙනිද ගාලු යන ගමනට. ඒ ඇවිත් තිබුන මේල් ටික දැක්කහම මටත් යන්නමයි හිතුනෙ. ඒත් කොහොම හරි අමාරුවෙන් ඒ ආශාව යටපත් කරගත්ත. හැබැයි එකම එක මේල් එකක් දැම්ම "මටත් එන්න ආසයි" කියල.

2011 දෙසැම්බර් 31
වෙලාව දවල් 12.22 ෆේස් බුක් චැට් එකක් මමයි එයයි
මම :- හායි (හැමදාම වගේ එදත් මම තමයි මුලින්ම හායි කියල තියෙන්නෙ)
එයා :- හායි, මොකද අනේ විශ් කලාම රිප්ලයි නැත්තෙ (ෆේස් බුක් එකේ ශෙයා කරපු ෆොටෝ එකක් ගැන මේ කියන්නෙ)
මම :- දැන්ම බෑ රෑ 12න් පස්සෙ
එයා :- ඒ වුනත් මම දාපු ෆොටෝ එකට ලයික් එකක් වත් දාන්නකො
මම :- ඒක ඔයාද හැදුවෙ
එයා :- මම නෙවෙයි තමයි හැදුවෙ, මම ඔය පාට පාට ඒවට ආස නෑ නෙ
මම :- ඒ කියන්නෙ
එයා :- මොකක් ගැනද අහන්නෙ
මම :- "මම ඔය පාට පාට ඒවට ආස නෑ නෙ" කියල කිව්වෙ මොකක් ගැනද
එයා :- නෑ අනේ මම දාපු ෆොටෝ එක සෝ චාම් නෙ. ඒකයි
මම :- හ්ම්ම්, ඒක නෙවෙයි නංගි 6 හරි 8 හරි නිවාඩුද (ඔලුව දාන්න කලින් මුට්ටිය දාල බලන්න එපෑ ගෙදර හොරු.. නෑ ගෙදර මිනිස්සු ඉන්නවද කියල)
එයා :- ඇයි අහන්නෙ ? (ශික් ගැහුව පොල්ලෙන්)
මම :- නෑ නිකන් ඇහුවෙ
එයා :- 6 නිවාඩුයි
මම :- මම ආවොත් එදාට හම්බවෙන්න පුලුවන්ද :P
එයා :- බලමු. (ගෑණු ළමයි බලමු කියන්නෙ හා කියන එකටද)
මම :- 7 වෙනිදා ගෙට්ටුගෙදර් එකක් තියනව. මමත් ඉතින් ඒකට එන්න හිතන් ඉන්නව. (පට්ට පල් බොරුවක්. ඒ වෙනකොට මම ලංකාවට යන්න හිතල තිබුනෙ නෑ )
එයා :- සෝ
මම :- මම එන එක තවම ශුවර් නෑ. එන්න පුළුවන් වුනොත් ආසයි හම්බවෙලා නංගිත් එක්ක කතා කරන්න :D (දැන්නම් අනිවා ලංකාවට යනව)
එයා :- හ්ම්ම් බලමු
එයා :- හැබැයි සින්දු කියන්න ඔට්ටු නෑ . ස්පෙශලි හින්දි එව්ව
මම :- ආයෙ කවදාවත්ම නෑ :D (සින්දු නෙවෙයි නංගි ඔයා කියනවනම් කතාත් නොකර ඉන්නම්)
මම :- අර සීඩි ටිකත් මම අරන් එන්නම් (එයා ආසම බෑන්ඩ් එකේ ඇල්බම් වගයක්)
එයා :- අනේ එපා මට මුකුත් ගේන්න ඕනෙ නෑ
මම :- එහෙනම් ඉතින් අපේ මල්ලිටවත් ඒ ටික දෙන්නම් (ඔයාට එපා නම් වෙන කාටවත් දෙන්නෙ කොහොමද මම ම තියා ගන්නව)
එයා :- අන්න හොදයි
මම :- එතකොට ඔයා මට, අර මම කියපු පොත ගෙනත් දෙන්නෙ නැද්ද?
එයා :- වෙන දවසක දෙන්නම්
මම :- හා එහෙම වුනොත් අපිට ආයෙමත් හම්බවෙන්න පුළුවන්
එයා :- නෑ මම පෝස්ට් කරන්නම්
මම :- :D

දැන් ඉතින් මම ගාලු ගමන යන එක ස්ථිරයි. ආ තවම නිවාඩු අනුමත කරගන්න බැරි වුනා නෙ. මම ගියා අපේ පොඩි බොස් ලගට ගිහිල්ල සීන්ස් එක කියල දවස් 3ක නිවාඩුවක් අනුමත කරගත්ත.
මහින්ද ලංකා ෆ්ලයිට් එකෙන් අඩු ගානට ටිකට් එකකුත් අරගත්ත. කොළබ ඉදන් ගාලු යන සෙට් එකටත් මේල් එකකුත් දැම්ම "මමත් ගාලු යන්න එනේ" කියල.

බ්ලොග් ලියන සෙට් එක හම්බවෙලා කතා බහ කරන්නයි, අවුරුදු 3කින් විතර නොදැකපු, මට සුවිශේෂ කෙනෙක් හම්බවෙන්න ලැබෙන එකයි
ඇත්තටම වචන වලින් කියා ගන්න බැරි තරම් සතුටක්

2011 දෙසැම්බර් 31
වෙලාව රාත්‍රී 10.30 ට පමණ

ෆේස් බුක් චැට් ලිස්ට් එකේ ඉන්න දන්න නොදන්න හැමෝටම සුබ පතන අතරෙ, "ෆේස් බුක් යූසර්" කියල කෙනෙකුත් ඉන්නව. පරණ චැට් එකක් ඕපන් කරලා බැලුව මම මේ කවුද කියල. වෙන කවුරුවත් නෙවෙයි ඒ "එයා"
අද උදේ චැට් කරපු එයා රෑ වෙනකොට ෆේස් බුක් එකවුන්ට් එක ඩිසේබල් කරල. (අපි නම් සැලෙයි ඔව්වට) මං ලග තිබුන එයාගෙ ෆෝන් නම්බර් 2ක්. කෝල් කරල බැලුව දෙකටම, ඒ දෙකෙන්ම කිව්වෙ එකම දෙයයි "චාරයක්‌ නොමැත".
මම කොයිතරම් ට්‍රයි කලත් පුන පුනා ඒකම කියපු නිසා වැඩේ අතෑරල දැම්ම.

6 වෙනිද වෙනකම් ට්‍රයි කරනව කන්ටැක්ට් කරගන්න බැරි වුනොත් මොනව කරන්නද බුක් කරපු ටිකට් එකෙන් 6 වෙනිද ලංකාවට ඇරෙන්න කියල හිතා ගෙන ෆෝන් එක සාක්කුවෙ දාගත්ත,

මතුවට සම්බන්දයි....!!!
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅

ප.ලි
පසුව ලියන්න තියන එකත් ඊලග කොටසටම දාන්න තීරණය කළා .

Monday, January 2, 2012

නොදන්න අලුත් දෙවියට වඩා දන්න පරණ යකාම හොදා

ලැබුවා වූ නව වසර ප්‍රර්ථනාවන් ඉෂ්ඨ වෙන සුභ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්. මොකද පෝස්ට් එක ඉවර වුනහම සුබ පතන්න හම්බ වෙන එකක් නෑ

නව වසරේ උදාව, ඒ කියන්නෙ 2012.1.1. අලුයම 00.00.01ට මම අබුඩාබි ඉදල ඩුබායි වලට එන කාර් එකක පිටි පස්සෙ ශීට් එකේ ලොකු බඩ ගින්නකින් (හැම තිස්සෙම එහෙම තමා ඉතින්) මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවෙ තමයි දැක්කෙ මල් වෙඩි පත්තු වෙනව. ඒ ලස්සන මල් වෙඩි දිහා බලල මම පුංචි ප්‍රාර්ථනාවක් කලා. ඒ තමයි "ලැබුවා වූ නව වසරේ මගෙ ආර්ථිකය මල් වෙඩිල්ලක් වගේ නොවේවා කියල" මම එහෙම ප්‍රාර්ථනාවක් කලේ 2011 වසර මට ඒ වගේ වුන නිසා. මල් වෙඩිල්ලක් පත්තු කරහම ඒකට ලගා වෙන්න පුළුවන් උපරිම උඩට ලගාවෙලා ලස්සනට පුපුරල, ඉතුරු වෙන සුන්බුන් ටික හිමීට බිමට වැටෙනව. ඔව් 2011 වසරෙ මගෙ ආර්ථික තත්වෙ මල් වෙඩිල්ලක් වගේම තමා.....

❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅

මම දැන් ඉන්න තැන ගැන ලොකූ විස්තරයක් කරන්න නම් අමාරුයි. දියුණු විශාල නගරයක්, හැම තැනකම හරි අමුතු තාලෙ විශාල බිල්ඩින් නවීනපන්නෙ සුපෝඛබෝගී වාහන, එක පැත්තකින් ගලාගෙන යන ලස්සන ගගක්, තව පැත්තකින් ලස්සන පාක් එකක්. ඒ පාක් එක ඇතුලෙ හරි ලස්සන මල් වලින් පිරුණු ගස්. ඇත්තටම මේ කොහෙද කියල හිතා ගන්න බෑ. ෆෝන් එක අරන් මැප් එක ඔන් කලා මම ඉන්න ලොකේෂන් එක බලන්න. 3G සිග්නලුයි GPS සිග්නලුයි උපරිමයි හැබැයි මෙලෝ දෙයක් පෙන්නන්නෙ නෑ මම ඉන්න ලොකේෂන් එකත් නෑ මැප් එක ලෝඩ් වෙන්නෙත් නෑ. යකෝ මම මේ කොහෙටද කඩා පාත් වෙලා තියෙන්නෙ. සාක්කුවට අත දාල ප(ර්)ස් එක එලියට අරගෙන ඇරලා බැලුව. ප(ර්)ස් එකේම තියෙන්නෙ ඩිරාම් 5යි ඒ කියන්නෙ ටැක්සියක ගිහිල්ලත් හමාරයි. ඇවිද්ද දෙපය දෙදහක් වටී කියල මම හිමිහිට ඉස්සරහට ගියා.

මිනිස්සු පෝලිමක් ඈත යනව පේනව. මමත් අඩිය ඉක්මන් කරල ඒ පැත්තට ඇදුනෙ, මම මේ ඉන්නෙ කොහෙද කියල අහල බලන්න හිතාගෙන. හැමදෙනාම ගියෙ එකම තැනකට, ඒක මහ විශාල ගොඩනැගිල්ලක් ඒ වගේම හරිම ලස්සන තැනක්. මම ඒ ගොඩනැගිල්ල ලගටම ගියා. එතන හිටපු බවුන්සර්ල දෙන්නගෙන් එක්කෙනෙක් මගෙන් ඇහුව මොන රටෙන්ද කියල. මම කිව්ව ශ්‍රී ලංකාවෙන් කියල. එතන හිටපු අනිත් බවුන්සර් ටෝකන් එකකුත් මගෙ අතට දීල අර බිල්ඩිමේ දොර ඇරල දුන්න, මට ඇතුලට යන්න.

මගෙ ජිවිතේ කවදාවත් දැනිච්ච නැති සුවදක් ඒ ගොඩනැගිල්ල ඇතුලෙ තිබුනෙ. ඒ වගේම හරිම නිශ්ෂබ්දයි. තව ටිකක් ඇතුලට ගියහම මිනිස්සු කට්ටියක් වාඩිවෙලා ඉන්නව. හරියට ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න ඇවිල්ල වගේ. මමත් වාඩි වුනා එතනින්. අපි වාඩි වෙලා හිටපු තැන ඉස්සරහ ඩිජිටල් බෝඩ් එකක් තිබුන අංක පහක් තියන. ඊට ටිකක් එහාට වෙන්න කාමරයක දොරක් තිබුණ. ඒ දොර ලග බිත්තියේ පොඩි බැනර් එකක.
"Only one person from each country is chosen. So don't lose this chance" කියල ලොකු අකුරින් ගහල තිබුණ.

මොන තොප්පියක් වැටෙන්න යනවද කියල හිතාගන්න බෑ. මම ෆෝන් එක සාක්කුවෙන් එලියට අරගෙන angry birds ගේම් එක ගහන්න හදනකොටම ඉස්සරහ දොර ඇරුන, ඔයාල සුරංගනාවියො දැකල තියනවද? ඔව් ඒ දොර ඇරගෙන ආපූ ගෑණු කෙනා මනුශ්ෂ දුවක් නෙවෙයි කියල මට හොදටම විශ්වාසයි. "ඔය ලංකාවෙන් ඇවිත් ඉන්න කෙනා ඉලක්කන් අදුරන්නෙ නැද්ද" ඒ අර ගැහැනියගෙ මෘදු කටහඩ.

ඉස්සරහ ඩිජිටල් බෝඩ් එකේ 00094 කියල සටහන් වෙලා තිබුණ. මට දීල තිබුණු ටෝකන් එකෙත් 94 කියල ගහල තිබුණ. ලැජ්ජාව කන්දෙකෙන් බේරෙද්දී රතු වුන මුහුණෙන් (ඇත්තටම ලජ්ජාවට මගෙ කළු මූණ රතු වෙනවද කියල මම දන්නෙ නෑ) යුතු මම, පුටුවෙන් නැගිටල වෙවුලන දෙපයින් ඈ සිටි තැනට පියමන් කලා. ඈ විවර කල දොරෙන් මම කාමරයට ඇතුලු වුනා. මා අතුලුවුනාත් සමගම ඇයද කාමරය තුලට පැමිණ දොර වසා දැමුවා.

ඒ කාමරය තුල පැවති මද ආලෝකය පරයමින් මා දුටු දෙය මට තවම විශ්වාස කරන්න බැරි තරම්. මගේ සිත කියන විදියට මා ඒ දැක්කෙ බුසුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ සහ නබිනායක තුමා නම් ......
එම සාස්තෘ වරුන් සියසින් දකින්න තරම් මම පිං කර තිබින. මා දෙදණ බිම තබා හිදගෙන, දෑත් එක්කොට වැද ගතිමි.

"දරුව ඔබට හෝ ඔබේ රටට යහපතක් වන කැමති වර 3ක් ඉල්ලන්න"
එකවරම මට කිසිවක් කියා ගත නොහැකි වුනා. එවිටම නන්දා මාලිනියන් ගායනා කරන සිංදුවක් මගෙ මතකෙට ආව.
මා ඉල්ලූ 1 වන වරය
"බුදුණේ, ජේසුනේ, නාභි නායක තුමනී නොමිනිසුන් හට මිනිසත් කම දුන මැනවී"

මා කාමරය ඇතුලට ගත් ගැහැණිය විසින් විශාල කඩදාසි මිටියක් ගෙනවිත් මා අසල ලැබුවා.එහි පළමු කඩදාසියේ "නොමිනිසුන්ව සිට මිනිසුන් වූ වන්" කියා ලියා තිබුණ අතර පළමු වෙනි නම හැටියට ම'වින් යන්න සදහන් වෙලා තිබුනා.

මා ඉල්ලූ 2 වන වරය
"මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවී"
අර ගැහැණිය විසින් තවත් කඩදාසි කොළ කිහිපයක් ගෙනවිත් විශාල කඩදාසි මිටිය යටින් තබා, "නොමිනිසුන්ව සිට මිනිසුන් වූ වන්" යන්න ටිපෙක්ස් කර " මිනිසුන්නව සිට ප්‍රඥාවන්තයින් වූ වන්" යනුවෙන් වෙනස් කරන ලදී

මා ඉල්ලු අවසාන වරය
"ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කල මැනවී"

"දරුව දැන් ඔබ රටේ සිටින සියලූදෙනාම ප්‍රඥාවන්තයින් වී අවසානයි, ඔබ රටේ දැනට පවතින නීතිය අනුව වරකට එක් අයකු පමණක් ජානාධිපති වන නිසා අප හට කල හැක්කේ මේ ලයිස්තුවේ මුලින්ම සිටින ම'වින් නැමැත්තා ජනාදිපති කීරීම පමණි"

ෂා ෂා ෂා මේ සින්දුව ලියපු කෙනා වැඩේ කාල නෙ.ඔය මිනිහ දැන් ප්‍රඥාවන්තයෙක් වුනත්, මොනව කරයිද කියල ෂුවර් නෑ. ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් තමයි වෙන්නෙ.

"ස්වාමීන් වහන්ස මම අවසානයට ඉල්ලූ වරය පමණක් චේන්ජ්....., සොරි වෙනස් කරගන්න පුලුවන්ද"
හප්පා වෙච්චි වැඩේට වචනත් පැටලෙනව

"දරුව එසේ එක වරයක් පමණක් වෙනස් කල නොහැක, ඔබ කැමතිනම් වර තුනම අහෝසි කල හැක"

ඔව් නොදන්න අලුත් දෙවියට වඩා දන්න පරණ යකාම හොදා

"එසේනම් වර තුනම අහෝසි කල මැනවි"

" එය එසේම සිදුවනු ඇත, දැන් ඔබට යාමට අවසර"

"ඔය දොරෙන් නෙවෙයි........., පේන්නෙ නැද්ද අර අනිත් දොරේ EXIT කියල ගහල තියනව අන්න ඒකෙන් එලියට යන්න" ඒ අර ගැහැණියගෙ කට හඩයි.

මා ඒ දොර විවර කලෙමි. එහි වූ ඝණ කළුවරට මට කිසිවක් නොපෙනුණි.

❅❅❅❅❅❅❅❅❅❅❅❅❅❅
රොජර්, කාර් එකේ පිටිපස්සෙ දොර ඇරගෙන මගෙ කකුලෙන් අදින ගමන්.
රොජර් : රුවන් රුවන් නැගිටපන්කො. මාර ගෙරවිල්ලක් නෙ බං උබ ගෙරෙවුවෙ
මම : නින්ද ගියා බං, අපි මේ කොහෙද ඉන්නෙ
රොජර් : ඒක නම් හොද නින්ද, අපි දැන් ඩුබායි වල ඉන්නෙ කන්න නැවැත්තුව. උබට ෂවර්ම කීයක් ඕනෙද
මම : ෂවර්ම, යකෝ උබ මාව අබුඩාබි එක්කන් ගියෙ මම කියන ඕන දෙයක් කන්න අරන් දෙනව කියලනෙ. ඒකනෙ මම ආවේ උබත් එක්ක යන්න. මම ගෙදර හිටියනම් හොදට නිදා ගන්නවනෙ බං.
රොජර් : ඉතින් උබ දැනුත් කලේ නිදා ගත්ත එකමනෙ. හරි දැන් උබට මොනවද කන්න ඕනෙ.
මම : එහෙනම් ඉතින් මටත් ෂවර්ම 2ක් ඕඩර් කරපන්

ඔන්න ඔහොම තමයි මට 2012 උදාවුනෙ.

මේ තියෙන්නෙ මම අර වර 3 ඉල්ලන්න පාවිච්චි කරපු නන්දා මාලනී මහත්මිය ගායනා කරන ගීතය

බුදුනී ජේසුනී නාභි නායක තුමනී
නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවී
මිනිසුන් හට ප්‍රඥාව දෙනු මැනවී
ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කල මැනවී

අයුක්තියේ ඝණ ශිලා තලා බිද
විමුක්තියේ ජල ධාරා
මුදා හරිනු මැනවී
සිංහ වෙසින් එන සිඝාලයින්
වනසාලනු මැනවී

මිත්‍යාවේ කලු වලා කඩා හැර
විද්‍යාවේ නව රේඛා
උදාකරණු මැනවී
බැටළු වෙසින් එන ව්‍යාග්‍රයින්
හදුනා දෙනු මැනවී

ලස්සන සින්දුවක් අහලම බලන්නකො


ප.ලි
හීනෙ ෆොටෝ ගහන්න බැරි වුන හින්ද අද පෝස්ට් එකට ෆොටෝ නෑ

ප.ප.ලි
මේ පෝස්ට් එක හුදෙක් විනෝදාස්වාදය සදහා පමණයි.
කාටවත් මඩ ගහන්නවත්, අපහාස කරන්නවත් ලියපු එකක් නෙවෙයි ඔන්න. :D

Friday, December 16, 2011

ලකී ෆිෂ්

මොකක්ද මතක් වුනේ මාතෘකාව දැක්කහම. නෑ මම මේ කියන්න හදන්නෙ ඔයාල හිතපු ලකී ෆිෂ් ගැන නම් නෙවෙයි හැබැයි. හැබෑටම එහෙනම් මේ මොකක් ගැනද? මේ කතාව කියවල ඉවර වුනාට පස්සේ මගෙන අහන්න එපා ඔන්න "මොකක් ගැනද ඔය උඩ කියල තියෙන්නෙ" කියල. ඒක නොදන්න කට්ටිය දන්න කෙනෙක්ගෙන් අහගන්න මොකද මමත් හරියටම දන්නෙ නෑ. අහල තියනව විතරයි.

සතියකට විතර කලින් වුන සිදුවීමක් ගැන තමයි මම අද කියන්න යන්නෙ. වෙලාව හවස 4.30ට විතර, ඒ වෙලාවෙ මම ඔෆිස් එකේ ගජරාමෙට වැඩ. (ඔය කිව්වට ඉතින් කිසි වැඩක් නෑ ඔය වෙලාවට, බස් පදින එක තමයි කරන්නෙ) අපේ ඔෆිස් එකේ පියන් මොකක්ද කුප්පියකුත් උස්සගෙන ඔෆිස් එකට ආවේ ඔන්න ඔය වෙලාවෙ. පියන් මගෙ ලගට ඇවිල්ල ඒ කුප්පියත් මට දීල කියනව "බොස් මේක රුවන් සර්ට දෙන්න කිව්ව" කියල. (ඔය පියන් තවම අලුත් කෙනෙක් ඒකයි මට සර් කියන්නෙ) ඔය ෆොටෝ එකේ තියන හිස් කුප්පිය දැන් මං ලග. ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ මේ හිස් කුප්පිය මට දුන්නෙ මොකටද කියල . මොකද මේකෙ මම මල් හිටවන්න යෑ. 5.00 වෙනකම් ඔෆිස් එකේ ඉදල මම මේ කුප්පියත් අරගෙන ගියා මිනී මැදුරක් සමාවෙන්න මින් මැදුරක් හොයාගෙන.


මගෙ වාසනාවට වැඩිය දුර යන්න වුනේ නෑ ඔෆිස්‌ එක ලගම එකක් තිබුන. හැබැයි ඒක මින්මැදුරක් නම් නෙවෙයි වෙන මොකක්ද එකක්. බෝඩ් එකේ නම් ගහල තිබුනෙ පෙට් ෂොප් කියල ඇතුලට ගියහමයි දැක්කෙ ඒකෙ මාලු, පූසෝ, ගෙම්බො, හාවො, නයි, පොලොඟු, කටුස්සෝ තව එක එක උන් හිටිය ඒක ඇතුලෙ. මාර පෙට්ස්ල තමයි. මම ඇතුලට ගියාට වඩා ඉක්මනට එලියට ආව. බුදු අම්මෝ ඒකෙ තිබුණු ගඳ. එක ගඳක් නෙවෙයි ගඳවල් කීපයක සම්මිස්ශ්‍රනයක්.පෙනහලු දෙකේ ඉදල උණ්ඩුක පුච්චෙ ලගට යනකම් තියන ඔක්කොම අවයව ටික පිරෙන්නෙ ලොකු හුස්මක් අරගෙන ආයෙත් ගියා කඩේ ඇතුලට ගිහිල්ල කුප්පිය පෙන්නල තියනවද කියල ඇහුව. කඩේ හිටිය මෑන් කුප්පිය අතට අරගෙන හොදට කරකවල බලල ටික වෙලාවකට පස්සෙ කියපි "වී ඩෝන්ට් හෑව්" කියල. මම හිරකරගෙන හිටිය හුස්ම ටික බකස් ගාල එලියට පැන්න. (සන්තෝසෙ වැඩි කමට) ලේන්සුවක් පාවිච්චි නොකරන මට ඒ වෙලාවෙ පිහිටට හිටියෙ ෂර්ට් එකේ කොලර් එක විතරයි. කොලර් එකෙන් නහය තදකරගෙන මම ඇහුව මේක කොහෙන්ද හොයා ගන්න පුළුවන් කියල. කඩේ මිනිහ "ගෝ කරාම" කියල කිව්ව. මූ ගාව ලෝකෙ ඉන්න ඔක්කොම සත්තු ටික ඉන්නව උන්ට දෙන්න කෑම නෑ, මම ඉතින් කඩේ මිනිහට හිතින් පිං දිදී එලියල ආවා.

දැන් ඉතින් පලයන්කො "කරාම". මෙහෙ ඉන්න අයටනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කරාම ගැන. හැමදෙයක්ම තියන පලාතක් හැබැයි ඉතින් කළුනික හොයනවටත් වඩා අමාරුයි මේ හරියෙ පාකින් එකක් හොයා ගන්නව කියන්නෙ එක. "රුචෝ උබ අද 8.00න් මෙහා ගෙදර යනව බොරු" කියල මම මටම කියාගෙන දැම්ම D එකට කරාම යන්න. ටික දුරක් යනකොට සද්දයක් එනව "බෙල්ට් එක දාගනින් බෙල්ට් එක දාගනින්" කියල නෙවෙයි ටින් ටින් කියල. ඒකත් ඇදල දා ගත්ත.

පොඩි මොලෙන් මැසේජ් එකක් එනව මේ ලගපාතකම තව මින්මැදුරක් තියනව කියල.(හප්පේ මේක උඩ උදේ ඉදල ඉදගෙන හිටියත් හොදට වැඩ) තව ටිකක් කල්පනා කරල බලද්දි මතක් වුනා ප්ලේස් එක. හරවාගෙන ගියා තැනට ගිහිල්ල බෝතලේ පෙනුවහම කඩේ හිටිය මිනිහ හොද හිනාවකුත් දාල ගත්තෙ නැතෑ ඇන්කර කිලෝ එකේ ටින් විතර ලොකු ටින් එකක්. (අතේ තියන තුට්ටු දෙකටත් කෙලින්න මූ හදන්නෙ) මම කිව්වා මේ සයිස්ම එකක් තියනවනම් දෙන්න නැත්තන් එපා කියල. කනේ ගෑවිලා තිබුණු මිනිහගෙ කටනම් ටිකක් විතර පැත්තට ගියා. හැබැයි මෑන් හොයල දුන්න මම ඉල්ලපු එක. ඒකත් අරගෙන මම එන්න පිටත් උනා.














ඔය ඉන්නෙ කැස්බෑ කෑම කන අපේ ගෙදර ඉබ්බෝ


ඒ එන ගමන් මතක් වුනා අපි පොඩි කාලෙ මාලු හදපු හැටි. අම්මෝ අපි පොඩි කාලෙ නම් රුපියල් 10ක් හම්බවෙන්න බෑ ගිහිල්ල මාළු ජෝඩුවක්‌ ගේනව. ඉතින් ඔහොම හැමදාම ගේන මාලු හුන්ඩුවක් විතර ටැංකියට දාන්න ඉඩ තියන එකක් යෑ. (ටැංකියේ හැමදාම හිටියෙ ගෝල්ඩ් ෆිෂ් ලා,බ්ලැක් මුවූර් ගෝල්ඩ් ෆිෂ් ලා, ඒන්ජල් වගේ මාලු. වලට වැටුනෙ ප්ලේටි, ගප්පි තමයි හැමදාම) ඉතින් පටන් ගන්නව හාරන්න. මුල්ම කාලෙ නම් ඔහොම හාරන වලවල් වලට හොද ඝනකම ඉටිකොලයක් දාල වතුර පුරවල මාලු දානවා. වල වටේට ඉටිකොලේ උඩින් ගල් තියනව. ගල් වලට උඩින් කුකුල් දැල. ඔය ඉතින් 5-6 වසරවල් වල ඉන්නකොට කරපු විදිහ. අපි ලොකුවෙනකොට ඔය ක්‍රමේ ටිකක් විතර වෙනස් වුනා. වලේ වට ප්‍රමානෙ වැඩි වුනා ගැබුර වැඩි වුනා. ඉටි කොලේ වෙනුවට සිමෙන්ති පාවිච්චි කරන්න ගත්ත. වලට මාලු දාන්න කලින් වතුරයි පොල් ලෙලියි දාල වලේ සිමෙන්ති වල සැර නැති කලා. ඔය මොනදේ කලත් වලේ මාලු හිටියෙ වැඩිම උනොත් මාසයයි නැත්තන් දෙකයි. ලොකු වැස්සක් ආපු ගමන් මාලු යනව පාර දිගට. ඉතින් වැස්ස පායනකොට මාලු එකෙක් වත් වලේ නෑ. කාලෙත් එක්කම මාලු හදන එක නැවතිලාම ගියා.

පොස්ට් එක නම් හිතුවට වඩා දිග් වුනා කෝ ඒත් මාතෘකාවෙ හිටපු ලකී ෆිෂ් ?
ලකී ෆිෂ් (Arowana) ගැන මට නම් කියන්න තියෙන්නෙ හරි පොඩි දෙයයි. ඒ තමයි ඌ හරි අන්ලකී ෆිෂ් කෙනෙක් කියන එක. මම දැකල කියන විදියට ඌව ඇතිකරන හැමෝම ඌව ඇතිකරන්නෙ වෙනම ටැංකියක. සමහර ලොකු ලකී ෆිෂ් ලව දාල තියෙන්නෙ උන්ට හැරෙන්නවත් ඉඩ නැති ටැංකි වල. මම නම් දන්නෙ නෑ මිනිස්සු ඌව ඇති කරන්නෙ වාසනාව ලගා කර ගන්නද කියල. හැබැයි ඒක උගෙනම් අවාසනාව.
ඔය යට ඉන්නෙ තවත් එක අවාසනාවන්ත ලකී ෆිෂ් කෙනෙක් ෆොටෝ එක ගත්තෙ දෙවනියට ගිය මින් මැදුරෙන්
මටත් හරි ප්‍රශ්නයක් වෙලා තිබුනෙ ඇයි මූට ලකී ෆිෂ් කියන්නෙ කියල. මෙන්න උත්තරේ ඔය බලාජි ආර් කියල තියෙන්නෙ



ප.ලි
ඇත්තටම මුලින්ම ලියන්න හිතාගෙන හිටියෙ ඔය යට තියන චේදෙ විතරයි. පස්සෙ තමයි උඩ තියන කතාව එකතුකලේ. කතාව දිග වැඩී,බෝරිං වගේ නම් සොරි වෙන්න ඕනෙ :D

Wednesday, December 7, 2011

අහිමි වුනත් නුබ ලදේ මට අඩන්න අවසර නෑ




ය උඩ තියෙන්නෙ වෙලාව, ඒක තමයි වෙලාව 6:21. ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ කොහෙවත් යන්න අකමැති වුනාට සමහර ගමන් තියනව නොයා ඉන්න බැරි. ඉතින් ඊයෙත් ඒවගේ ගමනක් සෙට් වුනා. ගෙදරින් එලියට එනකොටම,
බාප්ප : කොහෙ හරි යන්ඩද හදන්නෙ
මම : ඔවූ බාප්පෙ මේ ලුලු එක ලගට ගිහිල්ල එන්න (ලුලු කියන්නෙ මෙහෙ තියන සුපර් මාකට් එකක්)
බාප්ප : ආ.... මේ බෙහෙත් ටික ෆාමසියකින් ගෙනත් දීලා යන්න පුලුවන්ද
මම : හරි බාප්පෙ.
බාප්ප : මොනවද ඔය බෑග් වල තියෙන්නෙ.
මම : යාලුවෙක් ලංකාවට යනව බාප්පෙ මේ බෑග් ටික එයාට ගිහිල්ල දෙන්න යන්නෙ ලුලු එක ලගට
බාප්ප : හා...
ඔන්න ඔය වෙලාවෙ තමයි "ටිංටිං” කියල ඔය උඩ මම දාල තියන මැසේජ් එක ආවෙ. ෆෝන් එක ගන්නෙ කොහොමද අතින් කටින් බෑග් එල්ලගෙන. බෑග් ටික කාර් එකට දාල බැලුව මොකක්ද කියල බැලින්නම් “එයා” (ඔය නම කපල තියෙන්නෙ එයා තමයි “එයා” ) මම යවපු ෆෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලලු.
මොන කුණුහරප කතාවක්ද දෙයියනේ මේ මම කවදද මෙයාට රික්වෙස් එකක් දැම්මෙ. බොරු කියන්නෙ මොකටද ඉස්සර නම් ඉතින් නිතරම වගේ සර්ච් කරනව එයා ෆේස් බුක් ඉන්නවද කියල. ඒත් ඉතින් ඒ එයා එකවුන්ට් එක හදල තියෙන්නෙ නොවැම්බර් 30 නෙ. දවස් 6කට කලින්. කොහොම හරි කමක් නෑ එයා දැන් මාව ඇඩ් කරගෙනනෙ.

කවුද දැන් මේ “එයා.“ ඔය මම ඉස්කෝලෙ යන දවස් වල පස්සෙන් ගියපු ගෑණු ළමයනේ, මෙයා ඉතින් මට කවදාවත් කැමති වුනේ නෑ අර පාස්වර්ඩ් එක අමතක වුන පලවෙනි බ්ලොග් එක ලියන්න හැදුවෙ මෙයා ගැනනෙ. හොද වෙලාවට ඒ බ්ලොග් පාස්වර්ඩ් එක නැති වුනේ නැත්තන් තවත් ආදර අදෝනාවක් සිංහල බ්ලොග් අවකාශෙට එකතු වෙනවා. මේ බ්ලොග් එකේ නම් ඔය කතාව නොලිය ඉන්න තමයි හිතුවෙ. ඉස්සරහට හිත වෙනස් වෙයිද දන්නෙ නෑ මේ යන විදියට.

ආයෙ කතාවට. මම ඉතින් මුලින්ම කලේ මේ එයාමද කියල බලපු එක. කවුද දන්නෙ එක නම තියන කි දෙනෙක් මේ අන්තර් ජංජාලෙ සැරි සරනවද කියල. එයාම තමයි ෆොටෝ 3ක් ම අප්ලෝඩ් කරල තිබුන.
කොයිතරම් ආශාවෙන්ද හිටියෙ ඔය මූණ බලාගන්න. මේ ගමන් ටික ගිහිල්ල ගෙදර එනකම් සිහියක් නෑ.
ෆෝන් එකෙන් පේනවට වඩා ලොකුවට ලැප්ටොප් ස්කීන් එකෙන් මේ ෆොටෝ 3 බලන්න. මට හිතා ගන්න බැරි මේ සිදුවීමට මම සතුටු වෙන්න ඕනෙ ද නැති නම් දුක වෙන්න ඕනෙද කියන එක. අවුරුදු දෙකහමාරක් තිස්සෙ අමතක කරන්න හදන, අමතක කරන්න අමාරු අතීතය මේ මැසේජ් එකත් එක්ක ආයෙමත් මතක් වෙන්න පටන් ගත්ත.

කාටද කතා කරන්නෙ. වෙන කාටද ඉතින් හැමෝගෙම දුක් ගැනවිලි අහන දුක්ගන්න රාළට මිසක්. යන ගමන්ම දුකා අයියට කතාව කිවුව. ඊට පස්සෙ ඉතින් හම්බවෙලා ෆොටෝ ටිකත් පෙන්නුව. ෆොටෝ ටික බැලුවට පස්සෙ දුකා අයිය අහනව දැන් ඉන්න ගෑණු ලමයටද මේ ගෑණු ලමයටද වැඩිපුර කැමති කියල. ඔන්න මම නම් ඒකට උත්තර දෙන්න ගියේ නෑ . ඉක්මනට එන්න හිතාගෙන ගියාට දුකා අයියයි තව එයාගෙ යාළුවෙකුයි එක්ක කාල ටිකක් කතා කරල ගෙනාපු බෑග් ටිකත් දුකා අයියට දීලා මම එන්න පිටත් උනා. ඒත් මම එන්න හදනව හදනවා එවෙන්නෙ නෑ. පස්සෙ දැක්කෙ පාකින් ගියර් එකට දාල ඇස්ලෙටරේ පාගල තියෙන්න. එන ගමන් මතක් වුනේම දුකා අයිය අහපු එක තමයි.

අතුරු ආන්තරාවක් නැතුව කොහොම හරි ගෙදරට ආව. ආපු ගමන් කෙලින්ම ෆේස් බුක් එකට. අනේ එයා ඉස්සරට වඩා ලස්සන වෙලාද? නෑ ඉස්සර මිට වඩා ලස්සනද කොහෙද? ප්‍රශ්න වැලයි. ඔය ඕන ප්‍රශ්නයකට උත්තර හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවලුනෙ ඉතින් මමත් ඒ ක්‍රමේ පාවිච්චි කලා අප්පේ තියන සනීපෙ.
ස්ලැබ් එක හිල් වෙලාද දන්නෙ නෑ කම්මුලේ පුංචි වතුර බිදුවක් තිබිල ඇගිල්ලෙන් අයින්කලා. මට මතක් වුණා එයා අන්තිමට එවපු මැසේජ් එකක තිබුන සින්දුවක්. එදා මට ඒ සිංදුවේ තේරුම හොයාගන්න බැරි වුණා. තවමත් මම මේ සිංදුවේ තේරුම දන්නෙ නෑ. ඒ සින්දුවත් මතක් කරගෙනම ඇදට ගියා.

කවිය ඔබ, තුන් තිස්පැයක්
නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ කවිය ඔබ




දැන් නම් ඉතින් මේ සිංදුවේ තේරුම දැනගත්තයි කියල වැඩක් නෑ. ඒ උනාට කමක් නෑ දන්න කෙනෙක් කියල යන්නකෝ බලන තව කෙනෙක්ට ප්‍රයෝජන වෙන්නෙ නැතෑ.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ක්රීරීරීරීරීරීරීරීං.... ක්රීරීරීරීරීරීරීරීං.... වෙලාව උදේ 7:44යි, වැඩ පටන්ගන්නෙ 7:30ට මම තවම ඇදේ. බෙල්ල ගාවට වෙනකම් ඇග නැගිට්ටට ඔලුව නැගිටෙන්නෙම නෑ . අත්දෙකෙන් හයියෙන් අල්ලල ඔලුවත් නැගිට්ටව ගත්ත. බුදු අම්මෝ ඔලුවෙ බර. ඊයෙ රෑ උත්තර හොයන්න පාවිච්චි කරපු ක්‍රමේ වැරදිලා වගේ. මුළු ඔලුවම රිදෙනව. ඔලුව පැත්තකින් තියල හරි වැඩට යන්න එපෑ. වැඩක් කරන්න නම් මෙලෝ සිහියක් නෑ. ටිකක කැරකි කැරකි හිටිය ඔෆිස් එකේ, ඉන්නකොට බාප්ප එනවා.

බාප්ප : මොකද?
මම : ඔලුව රිදෙනව බාප්පෙ. ඊයෙ රෑ ටිකක් බි
බාප්පා : ආ එහෙනම් ගෙදර ගිහිල්ල සමහන් එකක් බිල නිදාගන්න. අද ලොකු වැඩක් නෑ නෙද?
මම : නෑ බාප්පෙ

බාප්පට පිං දිදී මම ගෙදර එනකොට වික්ටර් රත්නායක මහත්තය කියනව “අහිමි උනත් නුබ ලදේ මට අඩන්න අවසර නෑ” කියල. ඒ ආණ්ඩුව තියන කාලෙ ඉපදුනේ නැති එක හොදට ගියා නැත්තන් අඩන්නත් අවසර ගන්න එපෑ. දැන් නම් ඉතින් හැම දේටම අඩනවනෙ අවසර ඕනෙ නෑ නෙ.



ලස්සන සින්දුවක්, ලග නැත්තන් ඩවුන්ලෝඩ් කරගන්න.

මම ගෙදර ඇවිල්ල හොදට නිදා ගත්ත. ඇහැරෙනකොට හවස 6:35යි. ඔලුවෙ කැක්කුමත් එහෙන්මමයි.
ෆෝන් එකේ,
මිස් කෝල් 3යි. ඒ දැන් ඉන්න ගෑණු ළමයාගෙන්.
ෆේස් බුක් මැසේජ් එකයි. ඒක එයා ගෙන්..
මේසෙ උඩ,
සමහන් හදල දාපු උණුවතුර බෝතලයයි, කෝප්පයයි, පැනඩෝල් කාඩ් එකයි. ඒ ටික බාප්පාගෙන්.

මම නැගිටල මේසෙ ලගට ඇවිල්ල සමහන් එක බිවුව.
සමහන් සමගින් සුවපත් වේවා ආයුබෝවේවා....!!!


Real Time Web Analytics