Friday, December 16, 2011

ලකී ෆිෂ්

මොකක්ද මතක් වුනේ මාතෘකාව දැක්කහම. නෑ මම මේ කියන්න හදන්නෙ ඔයාල හිතපු ලකී ෆිෂ් ගැන නම් නෙවෙයි හැබැයි. හැබෑටම එහෙනම් මේ මොකක් ගැනද? මේ කතාව කියවල ඉවර වුනාට පස්සේ මගෙන අහන්න එපා ඔන්න "මොකක් ගැනද ඔය උඩ කියල තියෙන්නෙ" කියල. ඒක නොදන්න කට්ටිය දන්න කෙනෙක්ගෙන් අහගන්න මොකද මමත් හරියටම දන්නෙ නෑ. අහල තියනව විතරයි.

සතියකට විතර කලින් වුන සිදුවීමක් ගැන තමයි මම අද කියන්න යන්නෙ. වෙලාව හවස 4.30ට විතර, ඒ වෙලාවෙ මම ඔෆිස් එකේ ගජරාමෙට වැඩ. (ඔය කිව්වට ඉතින් කිසි වැඩක් නෑ ඔය වෙලාවට, බස් පදින එක තමයි කරන්නෙ) අපේ ඔෆිස් එකේ පියන් මොකක්ද කුප්පියකුත් උස්සගෙන ඔෆිස් එකට ආවේ ඔන්න ඔය වෙලාවෙ. පියන් මගෙ ලගට ඇවිල්ල ඒ කුප්පියත් මට දීල කියනව "බොස් මේක රුවන් සර්ට දෙන්න කිව්ව" කියල. (ඔය පියන් තවම අලුත් කෙනෙක් ඒකයි මට සර් කියන්නෙ) ඔය ෆොටෝ එකේ තියන හිස් කුප්පිය දැන් මං ලග. ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ මේ හිස් කුප්පිය මට දුන්නෙ මොකටද කියල . මොකද මේකෙ මම මල් හිටවන්න යෑ. 5.00 වෙනකම් ඔෆිස් එකේ ඉදල මම මේ කුප්පියත් අරගෙන ගියා මිනී මැදුරක් සමාවෙන්න මින් මැදුරක් හොයාගෙන.


මගෙ වාසනාවට වැඩිය දුර යන්න වුනේ නෑ ඔෆිස්‌ එක ලගම එකක් තිබුන. හැබැයි ඒක මින්මැදුරක් නම් නෙවෙයි වෙන මොකක්ද එකක්. බෝඩ් එකේ නම් ගහල තිබුනෙ පෙට් ෂොප් කියල ඇතුලට ගියහමයි දැක්කෙ ඒකෙ මාලු, පූසෝ, ගෙම්බො, හාවො, නයි, පොලොඟු, කටුස්සෝ තව එක එක උන් හිටිය ඒක ඇතුලෙ. මාර පෙට්ස්ල තමයි. මම ඇතුලට ගියාට වඩා ඉක්මනට එලියට ආව. බුදු අම්මෝ ඒකෙ තිබුණු ගඳ. එක ගඳක් නෙවෙයි ගඳවල් කීපයක සම්මිස්ශ්‍රනයක්.පෙනහලු දෙකේ ඉදල උණ්ඩුක පුච්චෙ ලගට යනකම් තියන ඔක්කොම අවයව ටික පිරෙන්නෙ ලොකු හුස්මක් අරගෙන ආයෙත් ගියා කඩේ ඇතුලට ගිහිල්ල කුප්පිය පෙන්නල තියනවද කියල ඇහුව. කඩේ හිටිය මෑන් කුප්පිය අතට අරගෙන හොදට කරකවල බලල ටික වෙලාවකට පස්සෙ කියපි "වී ඩෝන්ට් හෑව්" කියල. මම හිරකරගෙන හිටිය හුස්ම ටික බකස් ගාල එලියට පැන්න. (සන්තෝසෙ වැඩි කමට) ලේන්සුවක් පාවිච්චි නොකරන මට ඒ වෙලාවෙ පිහිටට හිටියෙ ෂර්ට් එකේ කොලර් එක විතරයි. කොලර් එකෙන් නහය තදකරගෙන මම ඇහුව මේක කොහෙන්ද හොයා ගන්න පුළුවන් කියල. කඩේ මිනිහ "ගෝ කරාම" කියල කිව්ව. මූ ගාව ලෝකෙ ඉන්න ඔක්කොම සත්තු ටික ඉන්නව උන්ට දෙන්න කෑම නෑ, මම ඉතින් කඩේ මිනිහට හිතින් පිං දිදී එලියල ආවා.

දැන් ඉතින් පලයන්කො "කරාම". මෙහෙ ඉන්න අයටනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කරාම ගැන. හැමදෙයක්ම තියන පලාතක් හැබැයි ඉතින් කළුනික හොයනවටත් වඩා අමාරුයි මේ හරියෙ පාකින් එකක් හොයා ගන්නව කියන්නෙ එක. "රුචෝ උබ අද 8.00න් මෙහා ගෙදර යනව බොරු" කියල මම මටම කියාගෙන දැම්ම D එකට කරාම යන්න. ටික දුරක් යනකොට සද්දයක් එනව "බෙල්ට් එක දාගනින් බෙල්ට් එක දාගනින්" කියල නෙවෙයි ටින් ටින් කියල. ඒකත් ඇදල දා ගත්ත.

පොඩි මොලෙන් මැසේජ් එකක් එනව මේ ලගපාතකම තව මින්මැදුරක් තියනව කියල.(හප්පේ මේක උඩ උදේ ඉදල ඉදගෙන හිටියත් හොදට වැඩ) තව ටිකක් කල්පනා කරල බලද්දි මතක් වුනා ප්ලේස් එක. හරවාගෙන ගියා තැනට ගිහිල්ල බෝතලේ පෙනුවහම කඩේ හිටිය මිනිහ හොද හිනාවකුත් දාල ගත්තෙ නැතෑ ඇන්කර කිලෝ එකේ ටින් විතර ලොකු ටින් එකක්. (අතේ තියන තුට්ටු දෙකටත් කෙලින්න මූ හදන්නෙ) මම කිව්වා මේ සයිස්ම එකක් තියනවනම් දෙන්න නැත්තන් එපා කියල. කනේ ගෑවිලා තිබුණු මිනිහගෙ කටනම් ටිකක් විතර පැත්තට ගියා. හැබැයි මෑන් හොයල දුන්න මම ඉල්ලපු එක. ඒකත් අරගෙන මම එන්න පිටත් උනා.














ඔය ඉන්නෙ කැස්බෑ කෑම කන අපේ ගෙදර ඉබ්බෝ


ඒ එන ගමන් මතක් වුනා අපි පොඩි කාලෙ මාලු හදපු හැටි. අම්මෝ අපි පොඩි කාලෙ නම් රුපියල් 10ක් හම්බවෙන්න බෑ ගිහිල්ල මාළු ජෝඩුවක්‌ ගේනව. ඉතින් ඔහොම හැමදාම ගේන මාලු හුන්ඩුවක් විතර ටැංකියට දාන්න ඉඩ තියන එකක් යෑ. (ටැංකියේ හැමදාම හිටියෙ ගෝල්ඩ් ෆිෂ් ලා,බ්ලැක් මුවූර් ගෝල්ඩ් ෆිෂ් ලා, ඒන්ජල් වගේ මාලු. වලට වැටුනෙ ප්ලේටි, ගප්පි තමයි හැමදාම) ඉතින් පටන් ගන්නව හාරන්න. මුල්ම කාලෙ නම් ඔහොම හාරන වලවල් වලට හොද ඝනකම ඉටිකොලයක් දාල වතුර පුරවල මාලු දානවා. වල වටේට ඉටිකොලේ උඩින් ගල් තියනව. ගල් වලට උඩින් කුකුල් දැල. ඔය ඉතින් 5-6 වසරවල් වල ඉන්නකොට කරපු විදිහ. අපි ලොකුවෙනකොට ඔය ක්‍රමේ ටිකක් විතර වෙනස් වුනා. වලේ වට ප්‍රමානෙ වැඩි වුනා ගැබුර වැඩි වුනා. ඉටි කොලේ වෙනුවට සිමෙන්ති පාවිච්චි කරන්න ගත්ත. වලට මාලු දාන්න කලින් වතුරයි පොල් ලෙලියි දාල වලේ සිමෙන්ති වල සැර නැති කලා. ඔය මොනදේ කලත් වලේ මාලු හිටියෙ වැඩිම උනොත් මාසයයි නැත්තන් දෙකයි. ලොකු වැස්සක් ආපු ගමන් මාලු යනව පාර දිගට. ඉතින් වැස්ස පායනකොට මාලු එකෙක් වත් වලේ නෑ. කාලෙත් එක්කම මාලු හදන එක නැවතිලාම ගියා.

පොස්ට් එක නම් හිතුවට වඩා දිග් වුනා කෝ ඒත් මාතෘකාවෙ හිටපු ලකී ෆිෂ් ?
ලකී ෆිෂ් (Arowana) ගැන මට නම් කියන්න තියෙන්නෙ හරි පොඩි දෙයයි. ඒ තමයි ඌ හරි අන්ලකී ෆිෂ් කෙනෙක් කියන එක. මම දැකල කියන විදියට ඌව ඇතිකරන හැමෝම ඌව ඇතිකරන්නෙ වෙනම ටැංකියක. සමහර ලොකු ලකී ෆිෂ් ලව දාල තියෙන්නෙ උන්ට හැරෙන්නවත් ඉඩ නැති ටැංකි වල. මම නම් දන්නෙ නෑ මිනිස්සු ඌව ඇති කරන්නෙ වාසනාව ලගා කර ගන්නද කියල. හැබැයි ඒක උගෙනම් අවාසනාව.
ඔය යට ඉන්නෙ තවත් එක අවාසනාවන්ත ලකී ෆිෂ් කෙනෙක් ෆොටෝ එක ගත්තෙ දෙවනියට ගිය මින් මැදුරෙන්
මටත් හරි ප්‍රශ්නයක් වෙලා තිබුනෙ ඇයි මූට ලකී ෆිෂ් කියන්නෙ කියල. මෙන්න උත්තරේ ඔය බලාජි ආර් කියල තියෙන්නෙ



ප.ලි
ඇත්තටම මුලින්ම ලියන්න හිතාගෙන හිටියෙ ඔය යට තියන චේදෙ විතරයි. පස්සෙ තමයි උඩ තියන කතාව එකතුකලේ. කතාව දිග වැඩී,බෝරිං වගේ නම් සොරි වෙන්න ඕනෙ :D

11 comments:

  1. \\\මම දැකල කියන විදියට ඌව ඇතිකරන හැමෝම ඌව ඇතිකරන්නෙ වෙනම ටැංකියක. සමහර ලොකු ලකී ෆිෂ් ලව දාල තියෙන්නෙ උන්ට හැරෙන්නවත් ඉඩ නැති ටැංකි වල. මම නම් දන්නෙ නෑ මිනිස්සු ඌව ඇති කරන්නෙ වාසනාව ලගා කර ගන්නද කියල. හැබැයි ඒක උගෙනම් අවාසනාව.///

    ඒ කතාව නම් සහතික ඇත්ත බන්

    ReplyDelete
  2. මාළුන්ගෙන් ගෙම්බන්ගෙන් මොන වාසනාවද බං :D

    ReplyDelete
  3. ලකී ෆිශ් ගෙන් ලකී වෙන්නෙ ඕක විකුණන මිංමැදුරේ පොරට.. ඇයි තිං අපේ ගොන් වාහෙලා ඔය කොහෙවත් යන මාලුවෙක්ව 30-40 දාහට විතර විකුණනවානේ :D

    මේ මං දන්න විදියට ඉබ්බො ඇති කරන්න තහනම් ගෙවල් වල..

    ReplyDelete
  4. හුඟක් අය ඇරවානා මාලුවාව ගන්නෙ පොඩි පැටිය කාලෙ. මොකද ඒ කාලෙ මාලුවාගෙ ගාන ගොඩක් අඩුයි. එතකොට මාලුවාව දාන්න අඩි තුන හතරක ටැංකියක් ගන්නව . . ගොඩක් අය කරන්නෙ බිත්තියටම අල්ලල ටැංකිය ගහන එක . . . ඒත් මේ අය දන්නෙ නෑ අර පොඩි ආලුව ඉතා කෙටිකාලෙකිං අඟල් 48ක විතර උපරිම දිගකට හැදෙනව කියල . . අන්න එහෙම අවස්තාවල තමයි හැරෙන්නවත් ඉඩක් නැතුව ටැංකිය ඇතුලෙ පැක් වෙච්චි ඇරවානා මාලුවො දකින්න ලැබෙන්නෙ.

    ReplyDelete
  5. අඩේ මමත් මේ ටර්ටල් පැටව් ගන්නමයි ගියේ.. ඒත් යූ ටියුබ් වීඩියෝ දෙකතුනක් බැලුවා උන්ව ගන්න යන්න කලින්... ඊට පස්සේ දුක හිතිලා අතෑරලා දැම්මා...

    ReplyDelete
  6. අවාසනාවන්ත ලකී ෆිෂ්...:DDD

    ReplyDelete
  7. හරිම අවාසනාවන්ත මාලුවෙක් නේන්නම් !.. පුදුමයි හදන අයට වාසනාව ගේනවා කීවහම !

    ReplyDelete
  8. මාලුවා නම් හෙන අවාසනාවන්තයි තමයි.... :(((

    උත්තරේ තමයි නියම........... :D

    ReplyDelete
  9. මං මාලු,තාරවෝ,බැන්ටම් කුකුල්ලු,හාවෝ,කලුකුම් ඔය එකී මෙකී ඔක්කොම ඇති කරලා තියනවා...ඔක්කොම කාලෙකට විතරයි :)

    ReplyDelete
  10. අන්තිම ටික කියවද්දී කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ දැනුනා, හිහි.
    අපේ මල්ලිත් ඉස්සර මාළු ඇති කළා. අපේ ගෙදරත් තිබුනා ලොකු මාළු ටැංකියක්.

    ReplyDelete
  11. ඔය ඉබ්බෝ නෙවෙයි කැස්බැවෝ ජාතියක්!... මගේ ලගත් ඉන්නවා දෙන්නෙක්, ඊයේට අවුරුද්දයි දෙන්නටම! ඔයා දාලා තියෙන වතුර මදි කියලයි මට හිතෙන්නේ! මගේ දෙන්න ඉන්නේ අඩි තුනේ ලොකු ටෑන්ක් එකක!මැදට කන්දක් වගේ වෙන්න කළු ගලක් තියලා තියනවා, හැබැයි දෙන්නම වැඩි හරියක් ඉන්නේ වතුරේ බැහැගෙන! ඒගොල්ලන්ට පීනන්න ටිකක් වතුර තියන්න! අනික මාළුන්ට හදලා තියෙන කෑමත් දෙන්න පුළුවන්, මගේ අයටනම් දෙනවා මම! තව ඉස්සෝ, දැල්ලෝ, වෙනත් මාළු වර්ගත් අමුවෙන් දෙන්න, ඒවත් කනවා!

    ReplyDelete

Real Time Web Analytics