Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි... !!!

වස් ගානකින් කෝල් එකක් දුන්නෙ නැති හින්ද 
මම අද කෙල්ලට කෝල් එකක් දුන්න 
කෝල් කරපු වෙලේ ඉදන් කෙල්ල අඩනව ඕයි 
මටත් නිකන් පිස්සු වගේ  

මම ඇහුව ඇයි අඩන්නෙ ඕයි කියල 
කෙල්ල කියනවා "අපේ අක්ක හෙට බදිනවා ඒකයි අඩන්නෙ ඕයි"
ලංකාවෙ මිනිස්සු මැරුණමත් අඩනවා, බදිනකොටත් අඩනව 
මුන් ඔක්කොටම පිස්සු ඕයි 

අඩන එක නවත්තල කෙල්ල මට කියනව
අක්කට කෝල් කරල සුබ පතන්න ලු 
මම කිව්ව, "මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ ඕයි"
"අනේ පිස්සෝ අක්ක කන්නෙ නෑ ඕයි"

උපන්දිනේට, සුබ උපන්දිනයක් කියනව වගේ
අලුත් අවුරුද්දට, සුභ අලුත් අවුරුද්දක් කියනවා වගේ
මගුලට, සුහ මගුලක් වේවා කියල සුභ පතන්නද කියල මම කෙල්ලගෙන් ඇහුව
තමුසෙට පිස්සුද ඕයි,
කියල කෙල්ල අහනවා ඕයි 

සුභ අනාගතයක් කියල, සුභ පතන්නෙ කොහොමද ඕයි
එහෙම සුභ පතපු දවසෙ ඉදල රටම මඤ්ඤං වෙලානෙ ඉන්නෙ 
පිස්සු හැදෙනව ඕයි.

බයෙන් බයෙන් අක්කට කතා කලාට 
කියන්න දෙයක් ඔලුවට ආවෙම නෑ ඕයි 
පැට්‍රල් වැඩි කරපු එක, බාලචන්ද්‍රන්ට වෙඩි තියපු හැටි,
ඔව්ව කියල හෙට  බදින්න කෙල්ලෙක් ගෙ  ඔලුව අවුල් කරන්නත්  බෑ නෙ ඕයි 
මට පිස්සු කියල හිතයි ඕයි 

     **************
ක්‍රින් ක්‍රින් 
"හලෝ කවුද මේ" 
"අක්කෙ මම. අක්ක හෙට බදිනවද"
"ආ ඔව් මල්ලි"
එහෙනම්  ජය වේවා..!!!

මම ෆෝන් එක කට් කළා ඕයි
මට  පිස්සු කියල හිතුවද දන්නෙත් නෑ 
ඒත් ඉතින් මම වෙන මොනව කියන්නද

Tuesday, September 18, 2012

මතකයේ රැදී කෘතීන්


ගේ මතකය නිවැරදි නම් මේ සිදුවීම, පහ වසරේ ඉගනුම ලබන අවදියේ සිදුවීමකි. අපේ නැන්දාගේ තුන් මාසේ දානයට නෑදෑයින් එකතු වුයේ ඊටත් දවස් දෙකකට පෙර සිටය. ඉතින් මමත් අපේ අම්මත් එක්කම නැන්දලාගේ ගෙදර ගියේ ඒ දාන කටයුතු සදහාය. ඒ වන විටත් අපි කුඩා දරුවන් නිසා අපට ලොකු වැඩක් නොතිබුණි. අපි සෙල්ලමෙන් කාලය ගත කළෙමු. වැඩි වෙලා අපිට එසේ කිරීම නොහැකි වුනේ නැන්ද ගේ පුතාගෙ  (අපි කියන්නෙ සුදු අයිය කියල) කාමරය අස් කිරීම අපිට බාර වුන නිසායි. සුදු අයිය කියා අපි ඔහුට කතා කලාට ඔහු මට වැඩිමල් වුයේ මාසයකින් පමණි.

ඔහු ඒ වනවිටත් පොත් කියවන්නට පුරුදුව සිටි නිසා ඔහු ලග සෑහෙන පොත් පමාණයක් තිබුණි. කාමරය අස් කර ඉවර වූ පහු මා එම පොත් අතරින් එක පොතක් තෝරා ගෙන කියවන්න පටන් ගත්තෙමි. ඒ මම කියවූ පළමු නවකතා පොතයි. නමින් බිහිසුණු නිම්නය වූ ඒ පොත පරිවර්තනයකි. සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ඒ පොත පරිවර්තනය කර තිබුනේ චන්දන මෙන්ඩිස් මහතා විසිනි. ෂර්ලොක් හෝම්ස්, විශේෂයෙන්ම මම ඇලුම් කල දොස්තර වොට්සන් චරිතය තිබු ආසාව නිසා එදා සිට මම ද පොත් කියවන්නෙක් විය.මුල් කාලයේදී ෂර්ලොක් හෝම් රහස්පරීක්ෂක කතා පොත් කියවීම පමණක් සිදු වූ අතර ඒ අතරට “සෝමපුර වීරයෝ”, “සිව් යහළු වික්‍රමය” , “අබිරහස් දුපතේ නිධානය”, වැනි පොත් ද එකතු විය.

ඔය තියෙන්නෙ මම පොත් කියවන්න පටන් ගත්ත විදිය. ඒත් මම කියන්න අද කියන්න හදන්නේ එදා මෙදා තුර මා කියවූ පොත් වලින් මගේ මතකයේ රැදිච්ච පොත් කීපයක් ගැන පොඩි විස්තරයක්. (මා කියාවා ඇති අනු පිලිවලට ඒවාට අංක යොදා ඇත)

1. කැලෑ මල් - ටී. බී ඉලංගරත්න
මේ පොත මම දහම් පාසලේ පුස්තකාලෙන් කියවන්න ගත්ත පොතක්, ඒ වනතුරු රහස් පරීක්ෂක කතා නව යොවුන් වික්‍රම පොත් කියව කියව හිටිය මට මේ පොත වෙනස්ම අත් දැකීමක් වුනා. මෙහි කතා සාරාංශය නම්. මා පියන් දෙදෙනා ගුවන් අනතුරකින් මිය යන ළමයකුගේ ජිවිත කතාවයි. මා පියන්ගේ වියෝවෙනි පසුව ඒ ළමයා ඔහුගේ නෑදෑයකු (මාපියන්ගෙ යාලුවෙක්ද කියලත් හරියට මතක නෑ) සමග හැදී වැඩෙයි.  ඒ නෑදෑයන්ට අවැසි වන්නේ මේ ළමයට අයිති දේපල තමන් සතු කරගැනීමයි. ඔය විදියට කතාව ගලාගෙන යයි.
ටී. බී ඉලංගරත්නයන්ගේ විලම්බීත, තිලක, තිලක හා තිලකාට වඩා මම කැලෑ මල් වලට ආස වෙන්න එහෙ කතාව මේ තුනටම වඩා  කෙටි සහ රසවත් වීමයි



2. තිත්ත කොපි - අනුලා ද සිල්වා (පරිවර්තනය) -  මුල් නිර්මාණය Bitter Berry - Christine Wilson
එදා මෙදා තුර කියවූ ලස්සනම පොතක්. මෙහි කතාව එංගලන්තයේ ලිපිකරුවෙන් ලෙස වැඩ කරන්නෙකුට ඔහුගේ අයියා විසින් අක්කර 500යක කෝපි වත්තක් ලංකාවෙන් ගන්නට සලස්වයි.  මේ ලිපිකරුවා ඔහුගේ සියලුම ධනය වියදම් කොට ලංකාවෙන් අක්කර 500ක කෝපි වත්තක් ගනී. ඉන්පසුව ඔහු ගේ රැකියාවෙන් ඉවත් වී ලංකාව බලා ගමන කරන අතර තුර මොහුට සුරූපී තරුණියක් ද මුණ ගැසෙයි ඇය සමග විවාහ වන මෙම අලුත් වතුහිමියා ඇයත් සමගම ලංකාවට යයි. අනුලා ද සිල්වා මහත්මිය ගැන පසුවට.



3. සොල්දර ගෙදර - ජයකොඩි සෙනවිරත්න
ගුරු පත්වීමක් ලබා ගමේ පාසලකට යන තරුණයෙක්. පසුව එම ගමේ ප්‍රධානියාගෙ දුවත් සමග විවාහ වෙන මෙම තරුණයා එම ගමේම නැවතී. කාලයාගේ ඇවැමෙන්  ගමේ පාසලේ විදුහල්පති වන මොහුගේ දින පොත් වල සදහන් වන කතාව මෙහි අන්තර් ගතය වේ.

 

4. ගිණි කුරුල්ලා - පරිවර්තක මතක නැත - මුල් නිර්මාණය The Sunbird - Wilbur Smith
මම කියවූ තවත් හොදම පොතක්.  අප්‍රිකාවේ නැතිවූ ශිෂ්ඨාචාරය සෙවීමට යන ගවේෂකයෙක් වටා මේ කතාව ගෙතී ඇත. මේ සදහා ඔහුට, ඔහුගේ පරණ ධනවත් මිත්‍රරයෙක් මුදලින් උදවූ කරයි. කතාව ආරම්බයට වඩා වෙනස්ම තැනකට ගෙනි යන්න එනම් පැරණ ශිෂ්ඨාචාරයකට ගෙනයාමට ස්මිත් ගත් උත්සාහය ප්‍රසංසනීයයි.




5. වක්ක්ලම - ජයකොඩි සෙනවිරත්න
විදුලි කාර්මිකයෙක් වහයෙන් වැඩ කරන සිරිපාල තම පවුලේ ආර්ථික මට්ටම නගා සිටවීමට රට රැකියාවක් සදහා යයි. එයින් තම පවුල දිලිදු බවෙන් මුදවා ගැනීමට ඔහුට හැකි වෙයි. නමුත්, …. මුදල් ජිවිතේ නොවන බව පසක් කරන මෙම පොත මම ආසාවෙන් කියවූ තවත් එක පොතකි.

සොල්දර ගෙදර, වක්කලම, බිංදුගේ කරනම ඇරෙන්න අනිත් සියලුම ජයකොඩි සෙනවිරත්න මහතාගේ පොත් වල එකම ආරක කාතාවක් ඇති නිසා මිලදී ගත්තත් තවමත් නොකියවපු පොත් රැසක් මාලග  ඇත.


 

6.සයිකෝ - පරිවර්තක මතක නැ - මුල් නිර්මාණය Psycho - Robert Bloch
තම වැඩ කරන කාර්යාලයෙන්  බැංකුවේ තැම්පත් කිරීමට තමාට දුන් මුදල සොරකම් කරගෙන තම ආදර වන්තයා ජිවත් වන නගරයට  යන තරුණියක් රාත්‍රීයේ නවාතැන් ගැනීම සදහා නවතන් පොළකට පැමිණෙයි......
මේ පොත කියවනකම් සයිකෝ  කියන්නෙ මොකක්ද කියල දැනගෙන හිටියේ නෑ. ඒත් පොත කියවල ඉවර වුනාට පස්සේ ඒක හොදටම තේරුනා. සයිකෝ කියන වචනෙ හරි තේරුම දැනගන්න ඕනෙ නම් මේ පොත බලන්න


 

7. උකුසු දඩයම   පරිවර්තක මතක නැ - මුල් නිර්මාණ  The Eagle Has Landed - Jack Higging
දෙවැනි ලෝක යුද්දය සමයේ සිදුවූ සුවිශේෂී මෙහෙයුමක් පාදක කරගෙන මේ කෘතිය රචනා කර ඇත. එනම් විස්ටන් චචිල්ව ඝාතනය කිරීමයි. ඉතින් මේ පල පුරුදු නාසි සෙබළුන්ට කොතරම් දුරට ඒ ඉලක්කයට ලගාවෙන්න පුළුවන් වෙනවද, නාසි සෙබළුන් ලග මානුෂික හැගීම් නැද්ද කියල දැනගන්න බලන්න වටින පොතක්


 

8. පිළිකා වාට්ටුව - අනුවර්තනය අනුල ද සිල්වා - මුල් නිර්මාණය  Cancer Ward - Alexander Solzhenitsyn
“පිළිකා වාට්ටුවේ ඉහලින්ම අංක 13 සදහන් විය. පැවෙලෝ නිකොලේ රස්නොව් කිසිදා මිත්‍යා මත විශ්වාස නොකරන්නෙකු වුවද ඔහුගේ කාඩ් පතේ අංක 13 සදහන් වෙත්ම ඔහුගේ පපුව හැහෙන්න විය”
උපුටා ගැනීම පිළිකා වාට්ටුව
පිළිකා වාට්ටුවේ සිටි අනෙකුන් මෙන් නොව පැවලෝ ධනවතෙකි. නමුත් දැන් ඔහුත් පිළිකා රෝගියෙකි. 13වෙනි වාට්ට්ටුවේ පන්ති බෙද නැති කමින් ඔහුත් එහි තවත් එක් රෝගියෙක් පමණි. පිළිකා රෝගීන් ගැන මෙන්ම රුසියානු දේශපාලනය ගැන දැනගන්න කියවන්න පිළිකා වාට්ටුව ඉතාම අනර්ඝ කෘතිය.

අනුල ද සිල්වා මහත්මිය ගේ පරිවර්තනය අතරින් මුලින්ම මා කියවූ පොත වුයේ “තිතත් කෝපි” පොතයි ඉන් අනතුරුව “අවසන් ලියුම” , “රජ උරුමය”, “පිළිකා වාට්ටුව”, “අත්තටු මැවිලා” යන සියලමු කෘතින් ඉතා අලංකාර කෘතීන් යැයි කීම වරදක් නැත. තවද ඇය විසින් රචිත “අසම්මතය” ඉතා හොද කෘතියකි.  මේ මා කියාවා ඇති පොත් පමණි.     




9. සොෆීගේ ලෝකය - පරිවර්තනය රාණි සේනාරත්න රාජපක්ෂ - මුල් නිර්මාණය  Sophie’s World - Jostein Gaarder
වයස අවුරුදු දහහතරක් වූ  සොෆිට දිනක් තම තැපැල් පෙට්ටියෙන් අපූරු

ලිපි දෙකක් ලැබෙයි. “ඔබ කවුද ?”, “ලෝකය ආවේ කොහෙන්ද?” යනුවෙන් ඒ ලිපිවල ප්‍රශ්න දෙකකි. ඉන් අනතුරුව සෑම දිනයකම සොෆීට මෙවැනිම ප්‍රශ්න ඇති ලිපි ලැබෙයි. ඒ ලිපි ලිවූ පුදගලයා වන නොක්ස් නමැති දාර්ශනිකයා එම ලිපි වලට පිළිතුරු සෙවීමට පුංචි සොෆීව යොමු කරවන ආකාරය මෙම පොතේ ඉතා සරලව දක්කවා ඇත.

 




10. මිථ්‍යාදෘෂ්ටිකයා - උපාලි උබයසේකර

මෙහි එන සිදුවීම් ක්‍රිස්තුපූර්ව හයවෙනි සියවසේ අග භාගයේදී හා පස්වන සියවසේදී සිදුවන්නට ඇතැයි උපකල්පනය කර  මෙම  කෘතිය ලියා ඇත. විජයාවතරණයට පෙර ලංකාව පාලනය කල නාග වංශික රජ නගමිත මහා අක්ඛිලනාග මහරජ ට හා අභි භාරනි උත්තරා අග මෙහෙසියට දාව උපදින කනිත්ත අක්ඛිලනා කුමාර, මහ රජුගේ වියෝවෙන් පසු රට පාලනය කල ආකාරය එක එක පුදිගලයන් විසින් දකින ආකාරය මෙහෙ සදහන්ව ඇත.

2011 වසරේ සවර්ණ පුස්තක සම්මානය සදහා මෙම පොතේ නමත් යෝජනා වී තිබුනත් එය හිමි වුයේ කවිකදුර පොතය. නමුත් මේ පොත් දෙකම කියවීමෙන් පසු මාගේ වැඩි කැමැත්ත මිථ්‍යාදෘෂ්ටිකයා ට බව කිවයුතුය.

අවසන් කරන්නට මත්තෙන් තව එක  දෙයක් කිව යුතුව ඇත එනම් අගතා ක්‍රිස්ටි විසින් රචිත රහස් පරීක්ෂක කතා පොත් ගැනත් මතක් කරිමක් කල යුතයි. ඒවා පරිවරත්යනය කර ඇත්තේ තොම්සන් ඒ වැන්දබෝනා මහත් මියයි.

මම ඇපල් වලට කැමති වුනාට තව කෙනෙක් ඉන්න පුළුවන් ඇපල් කන්න කැමති නැති. අන්න ඒ වගේ ඔය තියෙන්නෙ ඉතින් මම ආසාවෙන් කියවපු පොත් කිහිපයක්. සමහර විට මේ පොත් වලට අකමැති අයත් ඉන්න පුළුවන්.  ඒත් ඔයාල මේ පොත් කියවල නැත්තම් අරගෙන කියෙවුවයි කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ කියල මම හිතන්නනෙ.
ඕව හැමෝම දන්නව වගේ අද පටන්ගත්ත විස්සයි විස්ස ලෝක කුසලානයෙන්, සමාවෙන්න පොත් ප්‍රදර්ශනයෙන් මේ පොත් ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.  :)   

Thursday, August 23, 2012

කෙට්ටු වෙන්න කැමති හැමෝටම……. මෙන්න ක්‍රමේ.! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

 

(ආ) කොටස

මේ ලෝකෙ තියන ඕනෑම වැඩක් තනියම කරනවට වඩා සාර්ථකත්වය වැඩයි කට්ටියක් එක්ක එකතු වෙලා සාමූහිකව ඒ වැඩේ කරනව නම්. අද මම මේ කියා දෙන්න යන දේත් අන්න ඒ වගේ සාමූහිකව කරන්න ඕනේ වැඩක් .  එතකොට දැනටමත් ඔයාලට තේරෙනව ඇති නෙ මේක කට්ටියත් එක්ක එකතුවෙලා කරන්න ඕනෙ දෙයක් කියල.

හරි අපි බලමු මොනවද තව අපිට ඕන කරන දේවල් කියල. මේකට  අපිට ඕනෙ වෙනව ;

  • හොදට ඉදුණු ලොකු පළතුරු වට්ටියයි. (කට්ටිය වැඩි නම් පළතුරු වට්ටි දෙක තුනක් අරන් ගියත් කමක් නෑ.) වරක, අනෝද, දූරියන් වගේ පළතුරුත් තියනවා නම් තවත් හොදයි .
  • කුඩා පිහියක්. (ගොඩාක්ම කුඩා එකක් හරියන්නෙ නෑ)
  • හොදට ලෙලි ගහල මුඩ්ඩ අයින් කරපු වේලිච්ච පොල් ගෙඩි එකයි.
  • කපුරු පෙති පැකට් එකයි (ඇදුම් අල්මාරි වල දාන කපුරු බෝල පැකට් එක නෙවෙයි අනිත් එක)
  • සාම්බ්‍රානි පැකට් එකයි.
  • අරලිය හදුන් කූරු පැකට් එකයි
  • ගිණි පෙට්ටි එකයි.
  • මලුයි. (ඒ කියන්නෙ එක මලකට වඩා වැඩි ගානක්)

මේ ටික ඔක්කොම ලෑස්ති කරගන්න පුළුවන් නම් ඔයාලටත් පුළුවන්  මම මේ කියන ක්‍රමේ අත්හදා බලන්න. තව එක දෙයක්. පන්සල ලග පාතක වෙලක් එහෙමත් තියනවනම් මේ වැඩේට තවත් හොදයි.

අසන්නෙක් : පන්සල් යනකොට තෙල්, පහන්තිර එහෙමත් අරන් යනව නේද. ඒත් මේ ලිස්ට් එකේ එව්ව නෑ නෙ.

“ටිකක් ඉන්නකෝ කියල ඉවර වෙනකල් පනින්නෙ නැතුව.”

හරි මම අර කිව්ව  කළමනා ටිකත් ලෑස්ති කරගෙන යාළුවො ටිකත් එක්ක හොදට පේ වෙලා ගෙදර අයටත් කියල එලියට බහින්ඩයි තියෙන්නෙ.

පන්සල් යනකොටත් හරිම විමසිල්ලෙන් යන්න ඕනෙ. වෙලට මායිම් වන, පන්සලට කිට්ටුව පාලු වත්තක් එහෙම තියනවද කියල බලන්න. (පන්සල ගාව වෙලක් නැති උනත් කමක් නෑ පාලුවට ගිය වත්තක් තියනවා නම් )

කට්ටියම මේ වත්තට යන්න ඕනෙ. ගිහිල්ල මුලින්ම කරන්න තියෙන්නෙ වත්තෙ හොද තැනක් බලල හදුන් කූරු ටික පත්තු කරන එක. කට්ටියටම එතන ඉදගන්නත් පුළුවන් නම් තවත් හොදයි. ඊට පස්සෙ අර ගෙනාපු මල් ටික පාවිච්චියට ගන්න පුළුවන්. මල් පාවිච්චි කරල ඉවර උනාට පස්සෙ හොද බඩගින්නක් එයි. අන්න ඒ වෙලාවට  අර ගෙනාපු පළතුරු ටික කෑවනම් හරියටම හරි.  ඔය ඔක්කොම ඉවර වුනාට පස්සෙ පන්සලට ගිහිල්ල ටිකක් කැරකිලා ලොකු හාමුදුරුවන්ටත් වැදලා තමා ගෙදර එන්න ඕනෙ. ඒ ඇවිල්ල ගෙදර උයල තියන බත් එකෙත් මල්ලිගෙ පංගුවත් එක්ක කන්න ඕනෙ. මේක ඉතින් දවසක් දෙකක් කරල නම් හරියන්නෙ නෑ. මාසයක් වත් එකදිගට නොකඩවා කරන්න ඕනෙ. හැමදාම එකම පන්සලකට යන්නෙත් නැතුව මාරු වේවි යාලුවන්ගෙ ගම් වල පන්සල් වලටත් ගියාට කමක් නෑ, මේ ටික හරියටම කරොත් මහත් වෙන එක නවත්තන්න වයිමටවත් බෑ.

අනික ගෙදරට කියන්න පුළුවන් විභාගෙ හොදට කරන්න පුළුවන් වෙන්න බෝධි පුජා කරන්න යනව කියල. එහෙම නැත්තන් ජොබ් එකේ පඩි වැඩි වෙන්න කියල බෝධි පුජා කරන්න යනව කියල. ඔය මොනවා කිව්වත් ගෙදරින් ෆුල් සපෝට් එක ලැබෙනව මේ වැඩේ ට. සමහර විට පළතුරු ගන්නම සල්ලිත් දෙයි.

හරි ඕක තමයි ඉතින් මහත් වෙන්න තියන ලේසිම විදිහ. හරි කාට හරි ප්‍රශ්න එහෙම තියනවද අහන්.

නැවත අසන්නෙක්  : අර මල් ජාතිය අපි දන්න මල් ජාතිය නෙවෙයි ද වෙනස් එකක් ද?

“ඇත්තටම  උඩින්ම තියන  (අ.) කොටස කියවල ආව නම් මේ ප්‍රශ්ණය අහන්න ඕනෙ නෑ. (අ) කොටසට අනුව වෙලා සකසා ගන්නා ඒ ද්‍රව්‍යට සාමාන්‍ය විවාහාරයේ “මල්” කියල කියනවා. “

එම ආසන්නම : ඒත් (අ.) කියල කොටසක් නෑ නෙ

“ඇත්තටම  ඒ කොටස අදාළ බලදාරියා විසින් කපා හැරලා”

තවක් අසන්නෙක් : සාම්බ්‍රානි, කපුරු පෙති පැකට්, පොල් ගෙඩියක් අරන් යන්නම ඕනෙ ද

“දැන් මෙහෙම නේ. සමහර ගම් වල තියන හදුන් කූරු ඒ තරම් සුවද නෑ ඒ වගේ වෙලාවට අර පොල් ගෙඩිය බිදල පොල් මදේ ටික අයින් කරල  පොල් කට්ටට කපුරු පෙති ආධාරයෙන් පුච්චල ගින්න නිවල සාම්බ්‍රානි ටිකක් දාගත්තම හොද සුවදයි”

විද්වත්  අසන්නෙක් : (එටකොට අර කලින් ඔක්කොම අවිද්වත් ද)  මේ වගේ මාධ්‍ය වල ඔබතුමාලා මේ වගේ කතා කියන එක හරිද? ඊලග පරපුර මෙව්වයින් ගන්න ආදර්ශය මොකක් ද?

“හරි අපි එහෙනම්  +17 කියල කියමු. එතකොට ඕන දෙයක් කියන්න පුළුවන් නෙ”

 

……………………………………………………………………………………………….

ක්‍රින් ක්‍රින් ක්‍රින්   ක්‍රින්ක්‍රින්ක්‍රින්

මම : හලෝ (නිදි මතින්)

එහා පැත්තෙන්  : මල්ලි අදත් නායි වගේ. දැනටමත් නාල තියෙන්නනේ

මම : ඇයි.

එහා පැත්තෙන් : නෑ.. කෙට්ටු වෙන්න ක්‍රමයක් කියල කියල ටයිටල් එක දාල මහත් වෙන හැටි ලියල තියෙන්නෙ.

මම : අප්පටසිරි මහත  ක්‍රමයක් කියන එක වෙනුවට වැරදිලා කෙට්ටු කියල නේද වැටිල තියෙන්නෙ.

එහා පැත්තෙන් : මේ උබ ලංකාවෙ ඉන්නකොට හොදට මල් පාවිච්චි කරා නේද? මෙහෙ අපිට බබා පාට් එක දැම්මට

මම : සත්තයි නෑ

එහා පැත්තෙන් : එහෙනම් කොහොමද ඔච්චර හොදට දන්නෙ

මම : අපේ නැන්දගෙ පුතා  රොෂාන් එයා තමා මටත් කිව්වෙ නැත්තන් මම මෙව්ව දන්නෙ නෑ.

එහා පැත්තෙන් : හික් හික්. හරි හරි ටයිටල් එක වෙනස් කරල ආපහු පබ්ලිෂ් කරපන් එහෙනම්.

මම : මම මේ අයියගෙන් අහන්න හැදුවෙ මම පබ්ලිෂ් කරන්නත් කලින් කොහොමද අයිය කියෙව්වෙ කියල.

එහා පැත්තෙන් : මේ පබ්ලිෂ් වෙලා තියෙන්නෙ යස අගේට

මම : අඩේ බීටල් අයියගෙ පෝස්ට් එකේ තිබුන ආයුද මරු නෙ මම මේ Windows Live Writer එකෙන් බ්ලොග් එක ලියන ගමන් ඒකෙ තිබ්බ Publish බටන් එන විහිලුවට වගේ එබුවෙ. ඒ කියන්නෙ ඒක එබුවහම පෝස්ට් එක පබ්ලිෂ් වෙලාද?

එහා පැත්තෙන් : එහෙම තමා වෙන්න ඇත්තෙ. මේ මම යනව බං නිදා ගන්න ගුඩ් නයිට්

මම : එසේම වේවා……….!!!

 

 

ප.ලි

අද පෝස්ට් එකට ප.ලි කෑල්ල  නෑ..

Thursday, July 19, 2012

සංවාදයට තුඩුදුන් බුරිය

නීරස මතෘකාවක් ගැන අද මම මේ පොස්ට් එක ලියන්න හදන්නෙ. හැබැයි ඉතින් කියවන අයට නම් ලොකු වෙනසක් තේරෙන එකක් නෑ. මොකද මම වෙනද ලියපු පොස්ට් වලින් එහෙම රස නහර පිනා යන ගතියක් තිබුනේ නැති හින්ද.

මම ඉපදුන වෙලාවෙ මගෙ උප්පැන්නෙ හදන්න යන්න ඇත්තෙ මගෙ තාත්ත. ඉතින් ඒ වෙලාවෙ රෙජිස්ටාර් අහන්න ඇති තාත්තගෙන්, තාත්තගෙ ආගම මොකක්ද කියල. තාත්ත කියන්න ඇති බෞද්ධ කියල. ඒ හින්ද රෙජිස්ටාර් ලියන්න ඇති මගෙ උප්පැන්නෙ බෞද්ධ කියල ලියන්න ඇති. අන්න එදා ඉදල මම බෞද්ධයෙක්

මම බෞද්ධ වුන එක ගැන කිසිම ගැටළුවක් නෑ. ඇත්තටම මම සතුටු වෙනව මගෙ ආගම බෞද්ධ වුන එකට. ඒ වගේම මම දුක් වෙනව මගෙ ආගම බෞද්ධ ආගම වුන ක්‍රමයට. තේරුම, මම හිතන විදියට තමන්ට කැමැති ආගමක් තෝරගන්න වත් අඩුම තරමෙ  අයිතියක් තියෙන්න ඕනෙ. කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ඒ  අයිතිය අපිට තියනව කියල. ඔව් මම ඒ දේ  පිළිගන්නවා. ඒත් හැමෝටම ඒ අයිතිය තියනවද කියන එකයි ගැටලුව. කොහොම වුනත් මේ පෝස්ට් එකට ආගම් ගැන  එහෙම සෘජු සම්බන්දයක් නම් නෑ. ඒත්,

ආයෙත්, කතාව පටන් ගන්න කලින් කියන්න ඕනෙ මේක දැනට මම දරණ මතය මිස 100%ක් ම හරි මතයක් නොවෙන්න පුළුවන්. ඒ දැනට මම ඒක හරියි කියල හිතන් ඉන්නව වැරදියි කියල ඔප්පු කරන්න තරම් සාක්ෂි “මම” දැකල නැති නිසා. එහෙම සාක්ෂි තියනවනම් ඕනෑම වෙලාවක මගෙ මතය වැරදියි කියල පිළිගන්න මම සූදානම්.


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴..............................෴෴෴෴෴෴෴෴෴෴෴



අද පොඩි සංවාදයක් ගියා ඔෆිස් එකේ. ඒ සංවාදයට මූල වුනේ  මේ දවස් වල fb එකේ තියන ආදම් ගෙයි ඒව ගෙයි බුරුයයි, සොෆී ගෙ ලෝකය පොතේ තිබුන මුලින්ම ආවෙ කවුද? කුකුල් පැටියාද නැත්නම් "සංකල්ප" කුකුල් පැටියද කියන එකයි. ඇත්තටම ඒක හරි විකාරයි. ඔෆිස් එකේ වැඩක් නැති හින්ද මම නිකමට ඔය දේ ඇදල ගත්තෙ. පොඩි ෆන් එකක් ගන්නත් එක්ක. ඒත් ඒ සේරම අවුල් ජාලයක් වුනේ ආදමුයි ඒවයි දෙවියන් වහන්සේ විසින් මැව්ව කියල විශවාස කරණ කෙනෙක් අපේ ඔෆිස් එකේ හිටිය එකයි. මම එකේ කිසිම වැරද්දක් දකින්නෙ නෑ. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් විශ්වාස කරන්න, අදහන්න අයිතියක් තියනව.

ටික වෙලාවක් සංවාදය ගියා ඒක හරවත් එකක්ද එහෙම නැත්තන් කිසිම හරයක් නැති සංවාදයක්ද කියල මට ඒ තරම් තේරුමක් තිබුනෙ නෑ. මොකද සංවාදෙ එක් පාර්ශවයක් නියෝජනය කලේ මම නිසා. කොහොම උනත් අවසානයෙදී සිද්ද වුනේ දෙපැත්තෙන්ම හින්ට් ගහ ගන්න ඒක.  පැය භාගයකට විතර පස්සෙ සියල්ල යථාතත්වයට පත් වුනා. මම හිතුව මම දිනුම් කියල. ඒ වගේම ඔහුත් හිතන්න ඇති ඔහු දිනුම් කියල.

කවුරු දිනුවත් කවුරු පැරදුනත් ඒක ඒ තරම්ම වැදගත් දෙයක් නෙවෙයි. ඒත් වැඩ ඇරිල ගෙදර ඇවිත් කොමඩ් එක උඩ ඉදන් ඉන්න ගමන් කල්පනා කළා මේ දේ ගැන.  ඒ වෙලාවෙ මට හිතුන,

1. දෙවියන් වහන්සේ මිනිසුන් මැව්ව නම් ඒ කොයි කාලෙද?  (ක්‍රිස්තුපුර්ව කී වෙනි සියවසේ ද?)

2.  දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ ඒ ප්‍රාග් ෛඑතිහාසික යුගයට කලින් නම් (ඩයිනෝසෝරයින් පෟථිවි ජීවත් වෙන්නත් කලින්) ප්‍රාග් ෛඑතිහාසි යුගයේදිත් මිනිසුන්  ඩයිනෝසෝරයින් සමග වාසය කළාද ?  

3. නොඑසේනම් මිනිසුන්ව මැවුවේ ප්‍රාග් ෛඑතිහාසික යුගයට පසුව නම්, දෙවියන් වහන්සේ විසින් මුලිනම මවන ලද්දේ  ඩයිනෝසෝරයින්වද? එසේ නොමැතිනම් නම් උන් හටගත්තේ ඩාවින්චිගේ පාරිනාම වාදයට අනුවද?

4. ආදම් හා ඒවා ගෙන් අපි සියලු දෙනාම පැවත එන්නෙ නම් මිනිස් සිරුරේ ලේ වර්ග ගණන 4ක් දක්වා වෙනස් වුනේ ඇයි?

සමහර විට මේවා මහ මෝඩ ප්‍රශ්ණ වෙන්න පුළුවන් ඒත් කොමඩ් එක උඩ වාඩිවෙලා ඉන්නකොට ඔයිට වඩා දේවල් හිතෙනව හරි අඩුයි ඉතින්.

මේ ඔක්කොම දේවල් හිතිල ඉවර උනාට පස්සෙ නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ සිංදුවත් මතක් වුනා 




ආදම් ඒව මැවුවේ අපී අපී
මහබභු හැදුවේ වැදුවේ අපී අපී

වසන්තය ගිම්හානෙන් වෙන් කලේ අපී
දහවල රාත්‍රියෙන් වෙන් කලේ අපී
විශ්වය වටහා ගත්තේ
වර්ණය හදුනා ගත්තේ
දෙවියන් බමුන් නොවේ
අපී අපී  අපිමයි

ආදම් ඒව මැවුවේ අපී අපී
මහබභු හැදුවේ වැදුවේ අපී අපී

කුසුම් තුරු ළපළු ලතා හැඩ කළේ අපී
සාගර ජාල දහරා  නම් කළේ අපී
භගවත්හට ගීතා ගැයුවේ
කුරාණ බයිබල ලිව්වේ
දෙවියන් බමුන් නොවේ
අපී අපී  අපිමයි

ප.ලි
මේ මම හිතන් ඉන්න විදිහ කියවන ඔයාල මිට වඩා වෙනස් විදියකට හිතන්න පුළුවන්. ඒ දේ හරි වෙන්නත් පුළුවන.

Thursday, July 5, 2012

සංගීත නයා

පොඩි කාලෙ ඉදලම සංගීතය ආශාවක් තිබුනට එය විෂයක් විදියට හදාරන්න පටන්ගත්තෙ මම, ඉස්කෝලෙ 6 පන්තියේදීයි . එවකට අප පාසලේ සෞන්දර්ය විෂය වශයෙන් තෝරාගැනීම් හතරක් විය.  එම විෂයන් හතර අතරින් මගේ  සෞන්දර්ය විෂය ලෙස මම තෝරාගත්තේ "බටහිර සංගීත" විෂයයි.

බ්‍රවුන් පේපර්  පිටකවරයක්, පියානෝ එකක ස්ටිකර් එකක්, ඊට උඩින් ඉටි කොලයක් දාපු පිටු 120 CR පොතත් අරගෙන බටහිර සංගීතෙ ඉගන ගන්න ගිය පලවෙනි දවස නම් මට ඒ තරම් මතකයක් නෑ. එදා අපිට ලොකු දෙයක් උගන්නන්න නැතුව ඇති. ඒත් ඊලග දවසෙ එනකොට රූල් 5ක් තියන පොතක් තියනව අන්න ඒ පොතකුත් අරගෙන එන්න කියල ඒ ගුරුතුමිය කිව්ව වගේ මතකයි. දෙවැනි දවසෙ ඒ රූල් 5,5 තියන පොතත් අරගෙන (ඩබල් රූල් පොත වගේ රූල් තියන පොතක් ඒ පොතට කියන විශේෂ නමක් තිබුන මට ඒක දැන් මතක නෑ) අපි ගියා බටහිර සංගීතය ඉගෙන ගන්න.  හැමෝම වගේ ඒ විශේෂ පොත අරගෙන ඇවිත් තිබුන. එදා අපේ පාඩම වුනේ ට්‍රේබල් ක්ලෙෆ් ( Treble clef) එකයි  (Bass clef) එකයි අදින එක. ඉතින්  අර කිව්ව පොතේ පිටු දෙකක් පිරෙන්නෙ අපි මෙව්ව ඇන්ද. බටහිර සංගීතෙ ඉගන ගන්න අන්තිම දවස එදා කියල අපි එදා දැනගෙන හිටියෙ නෑ. තුන්වෙනි දවසෙ බටහිර සංගීතෙ ඉගන ගන්න යනකොට ඒ ගුරුතුමිය මාරුවීමක් හදා ගෙන වෙන පාසලකට ගිහින්. ඒ කාලෙ වෙනකොට වෙන ගුරුවරියෙක් අපේ පාසලේ හිටපු නැති නිසා බටහිර සංගීත විෂය උගන්වන්න අපිට සිද්ද වුනා සෞන්දර්ය විෂය මාරු කරන්න. මාත් එක්ක එකට බටහිර සංගීතය ඉගන ගන්න ගිය සමහර ළමයි නැටුම් විෂයත් තවත් සමහරෙක් චිත්‍ර විෂයත් තෝර ගන්නකොට මා ඇතුලු තවත් පිරිසක් පෙරදිග සංගීත විෂය තෝරා ගත්ත.

මට ඇහිල තියනව මිනිස්සු කියනව " සංගීත කියන දේ ඇගේ තියෙන්න ඕන දෙයක් " කියල. ඉතින් ඒ කියමන ඇත්ත නම් අපිට පෙරදිග සංගීතය උගන්නපු ගුරුතුමියගෙ ඇගෙත් සංගීතෙ තියෙන්න ඕනේ. ඉතින් ඒ තරම් හීනි (කෙට්ටු ) මිස් කෙනෙක් ගෙ ඇගේ සංගීතෙ තිබුනනම් මගේ ඇගේ කොයි තරම් සංගීතෙ තියෙන්න ඕනෙද, කියල මට ඒ කාලෙ හිතුන ඒත් මම කාටවත් කියන්න ගියෙ නෑ. පෙරදිග සංගීත ඉගෙන ගන්න ගිය පලවෙනි දවසෙම ඒ උගන්වන මිස් ලොකු දේශනයක් දුන්න. අලුතින් ගිය අපේ සෙට් එකෙන් භාගයක්  එදාම චිත්‍ර වලට ගියා. කොහොම හරි මම බටහිර සංගීත විෂයට ගත්ත CR පොතටම තව ලොකු CR පොතක් අලවල කොටස් 5කට බෙදල පෙරදිග සංගීත විෂය කරන්න පටන් ගත්ත

 හැමදාම අපේ සංගීත කාලපරිච්ඡේදය වුනේ විවේක කාලෙට පස්සෙ තියන කාලපරිච්ඡේදය හෝ දෙකයි . ඉස්කෝලෙ ඉන්න ගුරුවරුන්ගෙන් භාගයක් විතර විවේක කාලේදී කෑම එක උස්සන් හෝ නැතුව කෑම කන්න එන්නෙ සංගීත කාමරේට. ඉතින් ඒ ඇවිත් කෑම කාල විතරක් නොනවතින ගුරුවරුන් ඊට පසුකාලපරිච්ඡේදය ඉවර වෙනකල් කතා බහ කරලා තමයි පංති වලට යන්නෙ. ඔන්න ඔහොම තමයි මට තේරුණේ සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියල. සංගීතය ඉගෙන ගන්න හැම කෙනෙක්ම මොකක් හරි වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න දැනගෙන ඉන්න ඕනේ වුනා. මොකද ඒ කාලෙ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගෙට සංගීතය පැට්‍රිකල් එකක් තිබුන. වයලීන් එක නිකට යටින් තියාගෙන වාදනය කරන්න කොයිතරම් උත්සහ කලත් බෙල්ල කොට නිසා ඒ උත්සාහය අසාර්ථක වුණා. ඊලගට බටනාලාව පිබින්න පටන් ගත්ත. ඒත් ඒ වැඩෙත් වැඩි කල් අල්ලල ගියෙ නෑ. ඔන්න ඔය කාලෙ තමයි අපේ පංතියට අලුතෙන් ළමයෙක් ආවේ.එයාගෙ නම හෂාන්. හෂාන් ඉස්කෝලෙට එනකොට අපි හිටියෙ  8 වසරෙ. මේ හෂානුත් සෞන්දර්ය විෂය විදියට තෝර ගත්තෙ සංගීතය. මේ අලුතෙන් ආපු ළමය වාදන කරන්න  තෝර ගත්ත වාද්‍ය භාණ්ඩය වුනේ ගිටාර් එක. අන්න ඒ වෙලාවෙ මටත් පොඩි ආසාවක් ආව ගිටාර් ගහන්න ඉගෙන ගන්න. බටනලාව අතඇරපු මම, වාද්‍ය භාණ්ඩය විදියට ගිටාර් එක තෝර ගත්ත. (හෂාන් දැන් ඩොක්ටර් බෑන්ඩ් එකේ ලීඩ් ගිටාර් ගහනව, හෂාන් ලගෙ අයිය දුෂාන් දැන් ජිප්සීස් බෑන්ඩ් එකේ කීබෝඩ් ගහනව)  

ගිටාර් එක තෝර ගත්ත වගේ නෙවෙයි. ඒක ගහන්න ඉගෙන ගන්නත් ඕනෙ. ඒකට ගිටාර් එකක් ගන්නත් ඕනෙ. ඉතින් මම ගිටාර් ගැන දන්න හෂාන්ට කිව්ව මටත් ගිටාර් එකක් ගන්න ඕන කියල. එයා කිව්ව එයාලගෙ අයිය පාවිච්චි කරපු බොක්ස් ගිටාර් එකක් තියනව ඕනෙ නම් ඒක මට ගන්න කියල. ඉතින් මම ඒ ගිටාර් එක අරගෙන ගිටාර් ක්ලාස් ගිහිල්ල ගිටාර් ගහන්න පුරුදු වේගෙන එනකොටම අපේ සංගීත ගුරුතුමිය කිව්ව අපේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ විභාගෙට සංගීත පැට්‍රිකල් නෑ කියල. අන්න ඒ නිවුස් එක ඇහුන දවසෙම මම තීරණය කලා ගිටාර් පංති යන එක නවත්තන්න.

කාලය ගෙවිල ගියා සාමාන්‍ය පෙළ විභාගෙ පටන් ගත්ත. සංගීත විෂය තිබුනෙ අන්තිම දවස් වල. සංගීත ප්‍රශ්න පත්තරේ තියන දවස් දෙකකට ඉස්සෙල්ල මම ගත්ත මගෙ  6 වසරෙ ඉදල 11 වසරට වෙනකල් ලියපු , පිටු  120 CR පොතට තව පිටු ගොඩක් තියන CR පොතක්  අලවල පහට බෙදපු, ඉස්සරහ පිටුවෙ පියානෝ එකක් අලවල තිබුන සංගීත පොත. එක කොටසක භිලාවල් රාගයයි,  තව කොටසක සුළු මැදුම් තනි තිතයි ඇරුනහම තව ඒ පොතේ ලියල තිබුනෙ මකුලොලුව මහතා ගැන විතරමයි.  සංගීත පීරියඩ් එක කට් කරල චිත්‍ර කරන ළමයි එක්ක වොලිබෝල් ගහපුව මතක් වුණා පොත පෙරලලා ඉවර වෙද්දි. වෙලාවට ඤාති අයිය කෙනෙක් හිටිය සංගීත කරපු එයාගෙ පොත ඉල්ලගෙන පාඩම් කරල විභාගෙට ගියා.

සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සෙ ගිටාර් එක මොනවා වුනාද දන්නෙ නෑ. කොයි තරම් ආසාවක් තිබුනත් ආපහු සංගිත භාණ්ඩයක් ගන්නෙ නෑ කියල හිතා ගත්ත. ඒත් කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස්  වෙනවනෙ. මම ඩුබායි ඇවිල්ලත් කාලෙකට පස්සෙ ජේමිස් බ්ලන්ට්ගෙ  ( james blunt) සිංදුවක් ඇහුන. ලංකාවෙ ඉන්න කාලේ ඉදල මේ සින්දු සෙට් එක මගේ ලග තිබුනත් ඒව හරියට ඇහුවෙ මෙහෙ ආවට පස්සෙ. ඉතින් ඒ සිංදු අහනකොට ආපහු ගිටාර් ගහන්න තිබුන ආසාව එලියට ආව. මම ආපහු ගිටාර් එකක් ගත්ත. අරගෙන තනියම ඉගෙන ගන්න ට්‍රයි කළා. ඒත් වැඩේ හැරිහියෙ නෑ. ඊට පස්සෙ සර් කෙනෙක්ව හොයාගෙන මාසයක් විතර කලාස් ගියා ඒත් අන්තිමට වැඩේ අත ඇරල දැම්ම.  ඊට පස්සෙ ජේමිස් බ්ලන්ට්ගෙ  සිංදු අහන එකත් නවත්තල දැම්ම.



මාස දෙක තුනකට කලින් රවී අයියගෙ ගෙදර යනකොට එයා සිංදුවක් අහනව. මමත් ගිහිල්ල බැලුව ලස්සන සිංදුව බෑන්ඩ් එකේ නම මොකක්ද කියල අහපුවහම රවී අයිය කිව්වා ඒ  බුලට් ෆෝ මයි වැලන්ටයින් ( Bullet for My Valentine) මෙටල් බෑන්ඩ් එකක්. මේ වෙනකොට මෙටල් පිස්සුව මටත් තිබුන නිසා මමත් ගෙදර ආපු හැටියෙ මේ බෑන්ඩ් එකේ ඇල්බම් 3,4ක් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පටන්ගත්ත. දැන් මාස දෙකක් විතර එක දිගට සිංදු අහන. ඔහොම අහගෙන ඉන්නකොට තමයි මටත් එහෙම ඩ්රම් ගහන්න ඉගෙන ගන්න ආසාවක් ආවෙ.






 ගිය සතියෙ මට සෙට් වුණා බාප්පගෙ වැඩකට සංගීත බඩු කඩයකට යන්න. මෙන්න එතැන තියනවා විකුණන්න එකෝස්ටික් ඩ්රම් සෙට් එකක්. එච්චර ලොකු ගානක් වුනේ නැති වුනාට මාසෙ අන්තිමට කෝඩෙට ආහුවෙලා හිටපු හින්ද ගන්න සල්ලි තිබුනෙ නෑ. ඉතින් යොහාන් අයියගෙන් ණයක් ඉල්ලගෙන අපි ගිහිල්ල ගත්ත ඩ්රම් සෙට් එක. අරගෙන කොහොම හරි අටව ගත්ත (සෙට් කරගත්ත). ඩ්රම් ලෙසන්ස් වගයකුත් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත

ඉස්සරම මට ගිටාර් එකක් නොතිබුන කාලෙ මට හොදට නින්ද ගියා. හීන පෙනුන. ඊට පස්සෙ ගිටාර් එකත් කාම්බරේට ආපුවහම මට තවත් හොදට නින්ද ගියා. දැන් ගිටාර් එකකුයි ඩ්රම් සෙට් එකකුයි දෙකක් තියනවා. ඊයේ මම ගෙදර ගිහිල්ල හවස 6ට විතර නිදා ගත්ත අද උදේ 7 වෙනකල් හොදට නින්ද ගියා. ලස්සන හීන පෙනුන. මට කොයිතරම් සතුටුද කියනවනම් මේ සැරේ පඩි හම්බ උනහම මම කීබෝඩ් එකකුත් ගන්න හිතා ගත්ත. එතකොට තව ලස්සන හීන බලන්න පුළුවන්  නෙ.




ප.ලි

හැමෝම නයි එක්ක සෙල්ලම් දාන හින්ද මටත් හිතුන පොඩි නයි සෙල්ලමක් දාන්න. ඕනෙ වුනේ ඩ්රම් එකක් ගත්ත කියල කියන්න විතරයි ඒත් මේ නයා හෙන දුර ගියා. සොරි වෙන්න ඕනෙ.
Real Time Web Analytics